වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලීම් සහ ලයින් කාමර වල ජීවත්වන වතු කම්කරුවන් හට නව නිවාස ඉදිකර දෙන්නැයි රජයට ඉල්ලීම් කරමින් වවුනියාව ප්රදේශයේ තරුණයකු පාපැදියකින් කිලෝමීටර් 2125 ගමන් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කොට තිබේ.
වවුනියාව පදිංචි ධර්මලිංගම් පිරතාපන් මහතා දීස්ත්රික්ක 25ක් හරහා දින 32කදී තමන් විසින් නිෂ්පාදනය කරගත් ලියවිල්ලක් ජනතාවට බෙදා හරිමින් රජයෙන් මෙම ඉල්ලීම කරමින් ගමන් කිරීම විශේෂත්වයකි.
පසුගිය 10 දින වවුනියාවෙන් ගමන් ආරම්භ කළ ඔහු 12 වන දින දඹුල්ල නගරය පසුකරමින් මාතලේ නගරයට ගමන් කරමින් සිටියදී අපට හමුවිය .
මාර්තු මස 13 වන දින මෙම චාරිකාව මාතලෙන් නතර වී නැවත ගමන් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
කඳුකරයේ තේ වතු කම්කරුවන් ඉල්ලා සිටින රු.1000ක වැටුප් වැඩි කිරීම ලබාදෙන ලෙසත් කඳුකරයේ ලයින් කාමර වල ජීවත් වෙන මෙම ජනතාවට නව නිවාස නිර්මාණය කර දීමට රජයට බල කිරීම සඳහා තමන් මෙම ක්රියාවලිය සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
තමාගේ මෙම ගමනේ අරමුණ තේ වතු කම්කරුවන් ගේ ජීවිත සංවර්ධනය කිරීම සඳහා මුළු රටේම ජනතාවගේ අවධානය යොමු කරවීම බවත් ධර්මලිංගම් මහතා සඳහන් කළේය.
දඔුල්ල - කාංචන ආරියදාස