වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස හා ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කරන ලෙසට ඉල්ලා, කිලෝමීටර් 2125 ක දුර ප්‍රමාණයක් ලංකාව වටා පාපැදියෙන් ගමන් කරන පුද්ගලයෙකු, තම ගමන් මගේ දෙවැනි දිනය අද (11දා) අනුරාධපුර නගරයෙන් ආරම්භ කළේය.
මන්නාරම් පාර, වවුනියාව ලිපිනයේ පදිංචි ධර්මලිංගම් පිරතාපන්ගේ (45) නැමැති අවිවාහක පුද්ගලයකු මෙසේ පාපැදියෙන් ගමන් ආරම්භ කළේ ය.
තම පාපැදියෙන් ගමන් කරන අතරවාරයේදී, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධර්මලිංගම් පිරතාපන්ගේ මහතා මෙසේ කීය.
මම රැකියාව හැටියට වවුනියාව නගරයේ ව්‍යාපාර කටයුතු වල නිරත වන පුද්ගලයෙක්, වතුකම්කරුවන් ඉල්ලා සිටින දවසේ පඩිය රුපියල් 1000 කරන්න කියලා ඉල්ලලා තමයි මම මේ ගමන ආරම්භ කළේ. අපි හැමෝම මිනිස්සු වර්තමානයේ බඩු මිල වැඩි නිසා රුපියල් 1000 කින් තනි මනුස්සයෙකුටවත් ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා.
වතු කම්කරුවන් ජීවත් වෙන්නේ කඳුකරයේ ලයින් කාමර වල එම කාමර තහඩු වලින් තමයි හදල තියෙන්නෙ.වැස්සෙන්, පින්නෙන් හා සීතලෙන් ජීවත් වෙත මේ අයට, සැනසීමෙන් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක් උදා කර දී, මේ අයට වෙන වෙනම නිවාස හදලා දෙන්න කියලා නිවාස ඇමැතිගෙන් හා ජනාධිපතිතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
අපේ ආර්ථිකයේ කොඳු නාරටිය වගේ සිටින්නේ, මේ කම්කරුවන්. ලංකාවේ 'තේ කොළ තමයි ලෝකයේ හොඳම රස තියෙන තේ. මේ අයගේ දහඩිය මහන්සියෙන් ලැබෙන එම තේ කොළ රසවත් වුවත්, මේ අයගේ ජීවිත කතාව තිත්තයි.
10 වෙනිදා වව්නියාවෙන් මෙම ගමන ආරම්භ කලේ, කිලෝ මිටර් 2125 ක දුර ප්‍රමාණයක් දිස්ත්‍රික්ක 25ක, ගමන් කරලා මාර්තු 13 වැනිදා නුවරඑළියෙන් තමයි මෙම ගමන අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිවාස ඇමතිවරයාගෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මේ කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 කර අනෙකුත් සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කරන ලෙසයි.
අනුරාධපුර - බි .පි චතුරංග