2015 ජනාධිපතිවරණය ,මහා මැතිවරණය වෙද්දි රටේ ජනතාවට කිව්වේ හොර අල්ලනවා කියලා. ජනතාව ඡන්දේ දුන්නා. නමුත් හොරු ඇල්ලුවේ නෑ. ලොකු හොරු අල්ලනවා වෙනුවට පොඩි හොරු අල්ලනවා. ලොකු හොරු අල්ලද්දි ඒ හොරු ආණ්ඩුව එක්ක එකතු වෙනවා නම් ඒ අයව නිදහස් කළා යැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසිය.
පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ අද (14) පන්නල , වැටකෙයාව මංසන්ධිය ආසන්නයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
මොන හොරු ඇල්ලිල්ලක්වත් නැතුව හොරු අල්ලන්න කියලා ආව අය හොරු බවට පත් වුණා. ඒ අය මහා බැංකුවේ මහාබැඳුම්කර වංචාවට අහුවෙලා ඒ අය ලොකු හොරු කියලා පෙන්නුවා. අන්තිමට මේ හොරා පොලිස් සෙල්ලම ඉවර වුනේ 2015කට කලින් හොරු බවට පත්වෙලා උන්න අය පොලීසිය බවට පත්වෙලා 2015 කලින් හොරු අල්ලන පොලීසිය බවට පත්වෙලා හිටපු අය හොරු බවට පත් වෙලා තමයි මේ සෙල්ලම ඉවර වුනේ. අන්තිමට මුහුදු මංකොල්ලකාරයන්ට ප්‍රසිද්ධ රට සෝමාලියාව බවට පත්වුණා වගේ ලංකාව බැංකු මංකොල්ලකාරයන්ට ප්‍රසිද්ධ රට බවට පත්වුණා.
දැන් හොරු අල්ලන කතාව ඉවරයි. දැන් තවදුරටත් හොරු අල්ලන කතාව කියන්න බැරි නිසා දැන් කියනවා මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ කුඩු කියලා. කුඩු අරයා ඇල්ලුවා මෙයා ඇල්ලුවා කියලා අද මාධ්‍ය සන්දර්ශන තියනවා. දැන් ඔය මාධ්‍ය සන්දර්ශන වලදි හැමදාම කියන කතාව තමයි මේ ඇල්ලුවේ ලංකාවේ ලොකුම කුඩුකාරයා කියලා. කලින් කිව්වා වෙලේසුදා කියලා. දැන් කියනවා මාකඳුරේ මධුෂ් කියලා. දැන් ලංකාවේ කුඩු ඉවරයි කියලා කියන්නේ. ජනාධිපතියි අගමැතියි තමයි මධුෂ් අල්ලලා තියෙන්නේ. අර ලතිෆ් වගේ මහන්සි වෙලා වැඩ කරපු නිලධාරින් නෙමෙයි. අගමැතියි ජනාධිපතියි කුඩු ජාවාරම්කාරයෝ අල්ලද්දි ලතිෆ්ලා වගේ මහන්සි වුණ පොලිස් නිලධාරීන් ගෙදරට වෙලා දෙවෙනි ඉනිම බල බලා ඉන්න ඇති. මේවා පිටිපස්සේ ඉන්නේ මධුෂ්ලා නෙමේ. මේවා පිටිපස්සේ ඉන්නේ දේශපාලනඥයෝ.
දැන් මධුෂ්ව අල්ලලා ලංකාවේ කුඩු නැද්ද. දැන් එතකොට කවුද කුඩු ජාවාරම් කරන්නේ. එකසත් ජාතික පක්ෂය,නිදහස් පක්ෂය,පොදුජන පෙරමුණ මේ ඔක්කෝම කුඩු ජාවාරම එක්ක සම්බන්ධයි.