ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට අසීමිත දීමනා
ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සඳහා,වැටුප් කොන්දේසි සහ චක්‍රලේඛවලින් බැහැරව, අසීමත දීමනා ගෙවීම් සිදුකරන බව විගණන විමසුමකදී හෙළිව ඇත.
දීමනා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය සහ හා සේවා නියුක්තිකයන් අතර කලින් කලට උද්ගතවන තත්ත්වයන්ට අදාළව ලිඛිත එකඟතාවක් ලබාගත යුතු වුවද, 2015, 2016 හා 2017 වර්ෂවල දීමනා ලබා දීමේදී වෘත්තීය සමිති සමග ලිඛිත එකඟතාවක් ලබාගෙන නොමැති බවද මෙම විගණන විමසුම මගින් අනාවරණය කර ගෙන තිබේ.
විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන විවිධ සේවා අංශ සඳහා දෛනිකව ඉටුකරනු ලබන කටයුතු සුවිශේෂී කටයුතු සේ සලකා විවිධ වර්ගයේ දීමනා අනුමත කිරීම් පසුගිය වර්ෂ කිහිපය පුරාම සිදුකර ඇති අතර, ඒ සඳහා කිසිදු සාධාරණ පදනමක් නොමැති බව මෙහි දක්වා ඇත.
එමෙන්ම 2016 අප්‍රේල් 29 දිනැති චක්‍රලේඛය අනුව රාජ්යසංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල සේවකයන්ගේ උපයන විට බදුගෙවීම් සිය වැටුපෙන් අඩුකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි ලෙස යොමුකළයුතු බව දක්වා තිබේ.
එසේවුවද, ලංකා විදුලිබල මණ්ඩලය විසින් උපයන විට බදු සේවකයන්ගෙන් අඩු නොකර ආයතනයේ වැය බරක් ලෙස සලකා ගෙවීම් කර ඇති අතර,ඒ අනුව ඍජුව ගෙවනු ලබන දීමනාවලට අමතරව 2017 වර්ෂය සඳහා රුපියල් 678,508,227ක මුදලක් උපයන විට බදු ලෙස ගෙවා ඇති බවත්, එය නීත්‍යනුකූල නොවන දීමනාවක් ලෙස නිරීක්ෂණ වී ඇති බවද විගණන විමසුමෙහි දක්වා ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මෙම විගණන විමසුම ලංකා විදුලිබල මණ්ඩලය වෙත යොමුකර ඇති බවද වාර්තාවේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට දීමනා ලබාදීමේදී දුෂ්කර මධ්‍යස්ථාන දීමනාව ( Remote Station Allowances) හා අන්තරායකාරී දීමනා (Hotline Allowances) හැර ලබාගතහැකි මුළු දීමනා ප්‍රමාණය තම දීමනා රහිත මාසික වැටුපෙන් 65%ක් නොඉක්මවිය යුතු බවට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසිවල දක්වා තිබේ.
එසේ වුවද,ලංකා විදුලිබල මණ්ඩලයේ විවිධ අංශවල නිලධාරීන් බොහෝමයක් නියමිත සීමාව ඉක්මවා දීමනා ලබගන්නා බවත්, 2017 දෙසැම්බර් මාසයට අදාළව ජනන අංශයේ මහවැලි,ලක්ෂපාන, ලක්විජය යන සංකීරණවල ප්‍රධාන කාර්යාලයේ බෙදාහැරීම් අංශය හා ව්‍යාපෘති අංශවලින් නිලධාරීන් 118ක් 65% සීමාව ඉක්මවමින් දීමනා ලබාගෙන ඇති බව නිරීක්ෂණය වී ඇත.
2017 ජුනි මාසයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් 226ක් වැටුපෙන් 65% සීමාව ඉක්මවා දීමනා ලබාගෙන ඇති බව වාර්තා වී තිබේ.
දුෂ්කර දීමනාව, අන්තරායකාරී දීමනාව, පෙළඹුම් දීමනා, පීඩාකාරී දීමනාආදී විවිධ දීමනා නිලධාරීන් ලබාගෙන ඇති අතර,මේ පිළිබඳ අධ්යක්ෂ මණ්ඩලයද දැනුවත් කර නොමැති බව විගණන විමසුමෙහි වැඩිදුරටත් දක්වා ඇත.
විදුලිබල මණ්ඩලයේ පුද්ගලයෙකුයම් තනතුරකට පත්කර ඇතිවිට එම තනතුරේ රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් දීමනා නොගෙවිය යුතු බවට සඳහන් කර තිබුණද, එයට පටහැණිව දීමනා මණ්ඩලය විසින් ගෙවා ඇති බවත්,ලංකා විදුලිබල මණ්ඩලයේ දීමනා ගෙවීමේදී කාර්ය සාධනය පදනමක් කරගත් දීමනා ගෙවීමේ ක්රමවේදයක්හඳුන්වාදීම වඩා යෝග්‍ය බව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂම විසින් නියමකර තිබුණද, මෙතෙක් එවැනි ක්‍රමවේදයක් සකස්කර නොමැතිබවත් විගණන විමසුම මගින් පෙන්වා දී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ සෑම ඉංජිනේරුවරයෙකු උදෙසාම තම මූලික වැටුපෙන් 10%ක ප්‍රමාණයක වූ රඳවා ගැනීමේ දීමනාව හා රුපියල් 15,000ක ඉංජිනේරු දීමනාව හිමිවී ඇති අතර, තවදවරලත් ඉංජිනේරුවරයෙකු උදෙසා වෘත්තීය දීමනාවද සමග ඉහත දීමනා වර්ග දෙකම ගෙවා ඇතැයි මෙහිදී අනාවරණය වී තිබේ.
මෙලෙස ඉංජිනේරුකාර්යයේ සුවිශේෂී බව උදෙසා යැයි පවසමින් ඉංජිනේරුවරයෙකුට එකම ආකාරයේ දීමනා වර්ග කිහිපයක් ගෙවීම සිදුකර ඇති බවද මෙහිදී නිරීක්ෂණය වී ඇත.
ඉංජිනේරු දීමනාව වූරුපියල් 15,000 ගෙවීම සඳහා සුදුසුකම් ලබන්නේ ශ්‍රීලංකා ඉංජිනේරු සේවයට අනුබද්ධ නිලධාරීන් සඳහා පමණක් වුවද, මණ්ඩලයීය ඉංජිනේරුවන්ටද 2014 මැයි මස සිට ගෙවීම් කර ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.
තවද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් බැහැර ප්‍රදේශයන්හි නිලධාරීන් රඳවා ගැනීම අවශ්‍යතාව මත එම නිලධාරීන්ටද, ප්‍රධාන කාර්යාලයේ රඳවා ගැනීමේ අවශ්‍යතාව මත ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ටද යන දෙපාර්ශ්වයටම දීමනා ගෙවා ඇත අතර,මේ අනුව සියලුම නිලධාරීන්ට කුමන හෝ ආකාරයකින් දීමනා ගෙවීම් සිදුකර ඇති බවද විගණන විමසුමේදී අනාවරණය වී ඇත.
මෙලෙස දීමනා ගෙවීම් හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ අවශ්‍යතාව අනුව නිලධාරීන්, අවශ්‍ය සේවාවලට හා කාර්යාලවලට අනුයුක්ත කිරීමේදී ගැටලු මතු වී ඇති බවද තවදුරටත් මෙම විගණන විමසුම මගින් දක්වා ඇත.

popular news
-
Champa Tuesday, 24 July 2018 05:42 PM
Holy cow! බෙදා ගන්න ගිහාම ගිය එකද ඉන්න එකද කියලා නැහැ. දෙකම එකයි. ශ්‍රී ලංකා ගුවන් සේවයේ ලොක්කන්ගේ වැටුප් දැක්කහම, ඒක පාඩු ලැබුවේ මොකොද කියන එක තේරෙනව වගේම, මේක දැක්කහමත් තේරෙනව විදුලිබල මණ්ඩලේට වෙලා තියෙන දේ. මේ මුදල් ඔක්කොම නැවත අයකර ගන්න ඕනේ වහාම. CEB needs a complete overhaul. ඔක්කොම දීමනාත් අරගෙන මදිවට බද්දත් ගෙවල තියෙන්න මහජන මුදලින්. කවුද මේකේ ලොක්ක? ආයතනයේ Chief Accounting Officer විදියට ඔහු මේකේ වගකීම ගන්න ඕනේ. ඔහුගේ අනුමැතිය නැතුව මේ ගෙවීම් කරන්න බැහැ. ඊළඟට Chief Accountant. මේ දීමනා සහ හොරට බදු ගෙවීම නිර්දේශ කලේ ඔහු නම්, නීතිය ඔහුටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. නිර්දේශ කරපු මිනිහයි අනුමැතිය දුන්නු මිනිහයි දෙන්නම වග කියන්න ඕනේ. මේවා දුන්නේ ඉංජිනේරුවෝ තර්ජනය කරපු නිසාද? ඇමති කියපු නිසාද? දැන දැන කරන මේ වගේ වංචා වලට උපරිම දඬුවම් දෙන්න ඕනේ. විගණකාධිපතිට පුළුවන් වාර්තාව දෙන්න විතරද? ඊට එහා ක්‍රියාමාර්ගයක් ගන්න බලය නැත්ද?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
