අපේ රටේ සෙසු ජනතාව මෙන්ම ආදිවාසී ජනතාව වසර 71ක් පුරා සමරන්නේ නිදහසක් නැති නිදහස් දිනයක් බවත්, තම ජාතියේ අයට නිදහස උදාවන්නේ පාරම්පරික උරුම අනුව සාම්ප්‍රදායික ජීවිත ගත කරන්න හැකිවූ දිනකදී බවත් ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ බදුල්ලේදී අද (04දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඌරුවරිගේ වන්නිලැත්තෝ,
"අද රට පුරා 71 වැනි නිදහස සමරණ කොට මගේ වයසත් අවුරුදු 71 යි. රට පුරා නිදහස් උත්සව පවත්වමින් නිදහස කියා සැමරුවාට කාටවත් තාම නිදහසක් නැහැ.
රටට ආර්ථික නිදහස ලැබුණත් අපට මේ දක්වා කිසි සාධාරණයක් ඉටු වුණේ නැහැ. රැහේ සම්ප්රදාය අනුව ජීවත්වීමට පවා නිදහස නැහැ.
අපේ පරම්පරාවට වසර 37,000ක ඉතිහාසයක් තියෙනවා. එහෙත් අපේ පාරම්පරික උරුමය පවා උදුරාගෙන තිබෙනවා. වනාන්තරේ නිදහසේ ජීවත්වෙන්න, පාරම්පරික ජීවනෝපාය අනුව ජීවත්වෙන්න, සංස්කෘතියට අනුව ජීවත්වෙන්න තවමත් අපට නිදහසක් උදාවෙලා නැහැ.
තවමත් පවතින්නේ යටතේ විජිත කාලයේ නීතිරීති. තවමත් සුදු හොල්මන් පවතිනවා.
මේ සියලු ආදිපත්‍යයන් නැතිවූ දවසක තමයි නියම නිදහස සැමරීමට හැකි වන්නේ එවන් දිනක් උදාවෙනකම් බලාසිටිනවා" යැයි පවසා සිටියේය.
පාලිත ආරියවංශ