හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් මේ මස 14 වනදා දක්වා නීතිපතිවරයාට කල් දී තිබේ.
2016 වසරේ සිදුකෙරුණු මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකක දී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් අද (04) නැවතත් අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා වෙත මේ මස 14 වනදා දක්වා කල් ලබා දුන්නේය.