මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඩ පට පිළිබඳව විමර්ශනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
අද (6දා) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
"පාර්ලිමේන්තු මංත්‍රි රන්ජන් රාමනායක අත් අඩංගුවට ගැනීම සිදු වන අවස්ථාවේ දී, ඒ සෝදිසි වරෙන්තුව සමග ඇවිල්ලා පොලීසිය සෝදිසි කරන අවස්ථාවේදී, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හැසිරීම තුළ එතුමා උත්සාහ කළා, මේ රටේ ජනතාවගේ අනුකම්පාවක් දිනා ගන්න.
ඒ අවස්ථාවේදී රටේ ජනතාව හිතුවා දේශපාලන පළිගැනීමට අපේ රජය සූදානම් වනවා කියලා. හැබැයි අපි දිගටම ජනතාවට කිව්වා, අපේ රජය පළිගැනීම් වලට සූදානම් වෙන්නේ නෑ, එහෙම දෙයක් කරන්නේ නෑ කියලා.
එතකොට එතුමා ගේ හැසිරීම තුළ එතුමා රටට ඒත්තු ගන්වන්න උත්සාහ කළා, ඒවගේම රජයට ඒත්තු ගන්වන්න උත්සහ කළා, මේ පොලීසිය වුණත් හැසිරිය යුතු ආකාරයට නෙවෙයි හැසිරෙන්නෙ කියලා. මොකද ඒ තුළ පළවෙනි පණිවිඩය ආවේ බලපත්‍ර රහිත ගිනි අවියක් සම්බන්ධව, නමුත් ඊයේ වෙද්දී ඉතා බරපතළ හඬ පට රාශියක් සමාජයට නිකුත් වෙලා තියෙනවා.
ඒ නිසා අපට දැන් බරපතළ සැකයක් තිබෙනවා පසුගිය ආණ්ඩුවේ ක්‍රියා කලාපය තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේදී, කවුද රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයාව භාවිත කළේ කියලා.
මේක ඉතාම විමර්ශනයට ලක් කල යුතු කාරණාවක්. ඒ කණ්ඩායම් සිරගත කරන්නත් එ් අයට දඬුවම් ලබා දෙන්නත් රංජන් රාමනායක මැදිහත් වෙලා. ඒ පොලිසියේ ඉහළ නිලධාරීන් සමග සිදු කරන සාකච්ඡා, ඒ හඬ පට අනිවාර්ය විමර්ශනයට ලක්කළ යුතුයි.
එතනින් එහාට ගිහින් අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් මෙතුමා එක පැත්තකින් එළියට ඇවිල්ලා ඉතා විවෘතව අධිකරණයට අපහාස කළා වගේම, මේ සමාජයට නිකුත් වෙලා තිබෙන හඬ පට හරහා අධිකරණයට තව දුරටත් අපහාස සිදු වෙලා තිබෙනවා.
එතකොට මේ ඉතාම පිරිසිදු චරිතයක්, නීති ගරුක චරිතයක්, හොර කමට, වංචාවට, දූෂණයට, විරුද්ධ චරිතයක් හැටියට තමන් ම සමාජ ගත කරපු රන්ජන් රාමනායකගේ හැසිරීම සම්බන්ධයෙන් අද ඒ නිරුවත රටට හෙළිදරව් වෙලා තිබෙනවා.”