රත්නපුර නව නගරයේ පිහිටි ආයුර්වේද රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කල බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (05) සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ, එදින (05) එහි නිරීක්ෂණයට එක්වෙමිනි.
දැනට රත්නපුර ශික්ෂණ රෝහලට කොව්ඩ් 19 ආසාදිතයින් වැඩි වශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීම හේතුවෙන් මෙලෙස රත්නපුර ආයුර්වේද රෝහලේ වාට්ටුවක් කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා ලබා දි ඇත.
එහි එකවර නේවාසික රෝගීන් 80 කට පමණ ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් ඇත.
මෙහි බටහිර වෛද්‍ය මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ද සේවය ලබා දෙන බව පළාත් ආයුර්වේද කොමසාරිස් ඩග්ලස් පතිරගේ මහතා මෙහිදී පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, කොව්ඩ් 19 රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ඇතුළු සෙසු පහසුකම් ද ඊට අවශ්‍ය කාර්ය මණ්ඩල ද රත්නපුර ශික්ෂණ රෝහල මඟින් ලබා දෙන බවය.
මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් 19 රෝගීන් බහුල වීම නිසා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි එම රෝහල් අධ්යක්ෂ අනුජ් රුද්‍රිගු මහතා සඳහන් කළේය.