රුපියල් අට කෝටි හැට දෙලක්ෂ අනූපන් දහසක් වටිනා රත්තරන් බිස්කට් සහ කුට්ටි කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 506ක් තම ධීවර බෝට්ටුවේ සගවා ගෙන ඉන්දියාව දෙසට ගමන් ගනිමින් සිටි කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු ඊයේ (2) සවස කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අයත් මුර සංචාරක යාත්‍රාවක් මගින් කල්පිටිය මුහුදු ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය .
මොවුන් 33 හැවිරිදි සහ 28 හැවිරිදි පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයන් දෙදෙනෙකි .
ඔවුන් ඊයේ දින සවස 5.30 ට පමණ තම ධීවර බෝට්ටුවේ මෙම රත්තරන් තොගය සගවා ගෙන කල්පිටිය " කුඩාව" නැමැති මුහුදු ප්‍රදේශය ඔස්සේ ඉන්දියාව දෙසට ගමන් ගනිමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් මුර සංචාරක යාත්‍රාවකින් පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඉන්පසු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගත් රත්තරන් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් දෙදෙනා ඊයේ දින සවස 6.05 පමණ වනවිට රේගු නිවාරණ අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණ.
ඒ අනුව රේගු නිවාරණ අංශයේ අධ්යක්ෂ ජයන්ත බුද්ධදාස මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ප්‍රධාන රේගු නිවාරණ නිලධාරී මහින්ද ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .