වර්තමානයේ රට වැටී ඇති තත්ත්වයට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 100%ක් ම වගකිව යුතු බවත්, රට බිංදුවට වැටී තිබිය දීත් පටු දේශපාලන අරමුණු මත වැඩ කරනවා නම් යළි මේ රට ගොඩ නැගිය නොහැකි වනු ඇති බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැසීය. ඒ සිය නිල සංචාරය අතරතුර සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති වෘත්තිකයන්ගේ හමුව අමතමිනි.
"ඉකුත් මැයි මාසේ අපි තීන්දුවක් ගත්තේ පක්ෂ දේශපාලනය පැත්තකින් තියලා. ආයේ දේශපාලනය කරන්න වුවමනාව තියෙනවා නම් ඒ තීරණය ගන්නේ නේ. එතනින් එහාට රට වෙනුවෙන් මිස ඊළග ඡන්දය බලාගෙන තීන්දු තීරණ ගන්නේ නෑ. රටේ කම්කරු නීති සුදුසු පරිදි සංශෝධනය කරනවා. හැබැයි වෘත්තීය සමිතිවත් එයාලගේ ඡන්දය වත් බලාගෙන නෙවෙයි. ලෝකයේ අනිත් රටවල කම්කරු නීති වගේ, කම්කරුවා ආරක්ෂා කරන ගමන් ව්‍යවසායකත්වයට ඉඩ දෙන, ආයෝජකයන්ට එන්න පුළුවන් පරිසරය හදන්න හැකි වෙන පරිදි වෙනස් කරනවා.
රට වෙනස් කළ යුතු වේලාව මේක කියලයි අපි විශ්වාස කරන්නේ. අපිට ආයි වැටෙන්න තැනක් නෑ. බිංදුවට වැටිලා ඉවරයි. තෙල් පෝලිම්වල, බෙහෙත් නැතිව මැරුණා කියන්නේ ආයි වැටෙන්න තැනක් නෑ. එහෙම රටක තවදුරටත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩ කරනවා නම්, අපට කවදාවත් අපේ රට ගොඩගන්න වෙන්නේ නෑ. ඒ නිසයි රට වෙනුවෙන් තීන්දු ගන්න එකතු වෙලා ඉන්නේ.
බොහෝ දෙනෙක් ඔබට ලංකාවට සල්ලි එවන්න එපා කියන්න ඇති. හිතා ගන්නත් අමාරු වුණත් සරත් ෆොන්සේකා මහතත් කියලා තිබුණා ලංකාවට එක ඩොලර් එකක් වත් එවන්න එපා කියලා. හැබැයි ඔබ ඒ දේශපාලන මතිමතාන්තර පැත්තකින් තියලා, ලංකාවේ පෝලිම්වල ඉන්න මිනිස්සු වෙනුවෙන් ඔබේ මුදල් බැංකුව හරහා යොමු කරන්න. අපේ අය එහෙ කළා. රුපියල් පහළොවේ විස්සේ වාසිය ගැන නොබලා මුදල් යොමු කළා. දැන් මාසික විදෙස් ප්‍රේශන මාසික ව ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගිහින් තියෙනවා.
මම යෝජනාවක් කළා විදෙස්ගත ශ්‍රමිකයන්ට ලංකාවට එද්දී අවශ්‍ය සම්පූර්ණ තෙල් ප්‍රමාණ ලබා ගන්න එයාපෝට් එකේ දී ම කාඩ් එකක් දෙන්න කියලා. ප්‍රමුඛතාව අනුව දැන් ඒක සංචාරකයන්ට දෙන්න පටන් අරන් තියෙනවා. විදේශගත ශ්‍රමිකයන්ටත් ඒක ඉක්මනින් ම ලබා දෙන්න කටයුතු කරනවා.
ගෘහ සේවිකාවකට එවන්න පුළුවන් ඩොලර් දෙසීයයි. විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියනයකින් වැඩි වෙනවා කිව්වාම, ඒ වගේ කොච්චර දෙනෙක් මේකට දායක වෙලා තියෙනවද? රට ගැන, රටේ මිනිස්සු ගැන හිතලා, කොච්චර නම් විදෙස්ගත ශ්‍රමිකයන් ප්‍රමාණයක්, ඩොලර් මිලියන දෙසීයේ ඉදලා තුන්සිය පනස් නවය වෙනකල්, ඩොලර් මිලියන එකසිය හැටකින් වැඩි වෙන්න කී දෙනෙක් දායක වෙන්න ඇති ද? සාමාන්‍යය ඩොලර් පන්සීයයි කියලා හිතුවත් කී දෙනෙක් මේ වෙනුවෙන් දායක වෙන්න ඇද්ද? ඒ නිසයි අපි හිතන්නේ අපි ඔබෙන් කළ ඉල්ලීමට, ඒ වෙනුවෙන් දැරූ වෙහෙසට ඔබ සාධාරණය ඉටුකරමින් ඉන්නවා කියලා. ඒ නිසා දැන් අපේ රටේ මිනිස්සු දෙයියනේ කියලා ටිකක් හුස්ම ගනිමින් ඉන්නවා.
දෙසැම්බර් වෙද්දී අයිඑම්එෆ් අරමුදල් සහාය ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. ඉන් අනතුරු ව ජාත්‍යන්තරයේ සහයෝගයත් සහනයත් ලැබේවි. ඒ සල්ලිත් අපි කන්නයි, බොන්නයි, හොරකම් කරන්නයි, අනවශ්‍ය ව්‍යෘපෘතිවලට යට කරන්නයි, කොමිස් ගහන්නයි ගන්නේ නැතිව විධිමත් සංවර්ධනයක් සදහා වන අපේ වැඩපිළිවෙල තුළ පමණක් යොදවන්න කටයුතු කෙරෙනවා. 1998 අයිඑම්එෆ් සහාය ලැබුණට පස්සේ තමයි කොරියාව ගොඩනැගුණේ. හිරොෂිමා - නගසාකි බෝම්බවලින් බිංදුවට ම වැටුණට පස්සේ තමයි ජපානය ගොඩ නැගුණේ. වියට්නාමය සීග්‍රයෙන් දියුණු වෙනවා, බංගලිදේශය වේගයෙන් ඉදිරියට එමින් ඉන්නවා, රටක් විදියට අපි තාමත් ඉතා ම පහළ.
ඒ වගකීම දේශපාලනඥයන් විදියට 100%ක් ම අපි භාර ගන්න ගමන්, රාජ්‍ය නිලධාරීනුත් ඒ වගකීම 100%ක් භාර ගත යුතු වෙනවා. ඒ වගේ ම රටේ මිනිස්සු විදියට අපිටත් ඒ වගකීම තියෙනවා. සිංගප්පූරුව, මැලේෂියාව, කොරියාව මේ තත්තවෙට ගොඩ නැගුනේ එක රැයකින් නෙවෙයි. මිනිස්සු හැමෝට ම එකට එකතු වෙන්න වුවමනා වුණා. මිනිස්සු එකතු වුණා. දැඩි නීති රීති දැම්මා. මිනිස්සු විදියට අපිටත් එතැනට එන්න පුළුවන්. අපි හැමෝම ඒ ගමන යන්න එකතු වෙමු."