රජයේ දන්ත වෛද්‍ය සේවයට ශත සංවත්සරයක්
මෙරට ජීවත්වන ජනතාවගේ මුඛ සෞඛ්‍යය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියවසක අභිමානවත් මෙහෙවරක් ඉටු කර ඇති ශ්‍රී ලංකාවේ රජයේ දන්ත වෛද්‍ය සේවයේ ශත සංවත්සර සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් අද (22) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ජැස්මින් ශාලාවේදී පැවැත්විණි.
1926 වසරේදී එක් දන්ත ශල්‍ය වෛද්‍යවරයකුගෙන් ආරම්භ වූ මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවය, සියවසක කාලයක් පුරා විකාශනය වෙමින් අදවන විට මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවයේ අත්‍යවශ්‍ය හා පුළුල් වෘත්තීය සේවා පද්ධතියක් බවට පත්ව තිබේ. එදා ඉතා සීමිත මානව සම්පතකින් ආරම්භ වූ මෙම සේවාව, වර්තමානය වන විට දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1,600කට ආසන්න සංඛ්‍යාවකින් සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 120කින් පමණ සමන්විත ශක්තිමත් වෘත්තීය සේවාවක් දක්වා වර්ධනය වී තිබීම එහි සියවසක ගමන්මඟ තුළ අත්කරගෙන ඇති සුවිශේෂී ප්‍රගතිය මැනවින් පිළිබිඹු කරයි.
මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ක්‍රියාත්මක රජයේ දන්ත සේවාවේ දෙවැනි සියවස වඩාත් ශක්තිමත්, නව්‍යකරණයෙන් පිරිපුන්, සාධාරණ ප්‍රවේශයක් සහිත හා ජනතා කේන්ද්‍රීය සේවාවක් බවට පත් කිරීම රජයේ අරමුණ බව පැවසීය.
1926 වසරේදී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ රජයේ දන්ත සේවාව සියවසක අභිමානවත් ගමන්මඟක් සනිටුහන් කරමින් අද වන විට ජාතික මහජන සෞඛ්‍ය පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. මෙම සියවසක කාලය තුළ සේවාවේ විෂය පථය පුළුල් කරමින්, වෘත්තීය ධාරිතාව ශක්තිමත් කරමින් සහ රට පුරා ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට එය සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මුඛ රෝග නිවාරණය, මුඛ පිළිකා පිළිබඳ දැනුවත් කිරීම, පූර්ව පිළිකා තත්ත්ව කල්තියා හඳුනාගැනීම සහ පාසල් හා ප්‍රජා මට්ටමේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද එම සේවාවේ වැදගත් කාර්යභාරයන් අතර වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දන්ත සේවාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් රජය අඛණ්ඩ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) කාර්යාලය සඳහා 2024 වසරේදී රුපියල් මිලියන 160ක් ද, 2025 වසරේදී රුපියල් මිලියන 148ක් ද, 2026 වසරේදී රුපියල් මිලියන 160ක් ද වෙන් කර ඇති බව ද සඳහන් කර සිටියේය.
එමෙන්ම 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකාවේ පස්වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පැවැත්වීම සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර තිබීම ද විශේෂ වැදගත්කමක් ගන්නා බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
වසර දහයකට වරක් පැවැත්වෙන මෙම ජාතික සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය, මුඛ රෝග ව්‍යාප්තිය, සේවා ලබාගැනීමේදී පවතින විෂමතා සහ දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය වැඩසටහන්වල ඵලදායීතාව පිළිබඳ වැදගත් දත්ත රැස් කිරීමට අපේක්ෂා කෙරේ. එම තොරතුරු අනාගත ජාතික මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ වඩාත් ඵලදායී සේවා සැලසුම් කිරීම සඳහා පදනමක් වනු ඇත. පවතින රාජ්‍ය සම්පත් උපරිම ඵලදායීතාවකින් භාවිත කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ සැලසුම්කරණයේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ශක්තිමත් දන්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත්, නිපුණ සහ රට පුරා සාධාරණව බෙදාහැරුණු මානව සම්පතක් අත්‍යවශ්‍ය වන බැවින් තරුණ දන්ත වෛද්‍ය වෘත්තිකයන් රජයේ සෞඛ්‍ය සේවයට එක් කර ගැනීමට ද පියවර ගෙන තිබේ. ඒ අනුව 2026 වසරේදී සීමාවාසික දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 85 දෙනෙකු රජයේ සෞඛ්‍ය සේවයට එක් කර ඇති අතර, තවත් සීමාවාසික පුහුණුව අවසන් කළ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 69 දෙනෙකුට 2026 දෙසැම්බර් මාසයේදී පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
රජයේ දන්ත සේවාවේ සියවසක ගමන්මඟ ගොඩනැඟීම සඳහා දායක වූ පුරෝගාමීන්වන හිටපු සහ වර්තමාන දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන්, දන්ත චිකිත්සකවරුන්, හෙද නිලධාරීන්, කාර්මික ශිල්පීන්, පරිපාලන නිලධාරීන් ඇතුළු සමස්ත දන්ත සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ මෙහෙවර අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය. එමෙන්ම වෘත්තීය සංවිධාන, විශ්වවිද්‍යාල, පුහුණු ආයතන සහ සංවර්ධන හවුල්කරුවන්ගේ දායකත්වය ද කෘතවේදීව සිහිපත් කළේය.
අතීත සියවස තුළ අත්කරගත් ජයග්‍රහණ ඉදිරි සියවස සඳහා ශක්තිමත් පදනමක් කරගනිමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වයස, ආදායම් මට්ටම හෝ භූගෝලීය පිහිටීම නොසලකා ගුණාත්මක මුඛ සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
