රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටියි.
දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග ඉදිරියේ ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු වියත්මග සභාපතිවරයා ලෙස ඊයේ (13දා) පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමුවූ ජනාධිපතිවරයා එසේ පැවසීය.
ග්‍රාමීය, නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබේ. එකී අරමුණු ජයගැනීමට දායක විය හැකි ආකාරය ජනාධිපතිවරයා වියත්මග විධායක සභාවට පෙන්වා දුන්නේය.
උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මග පෙන්වීමටත්, අමාත්‍යවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහාය වීමටත් හැකි බව ජනාධිපති රාජපක්ෂ මහතා සඳහන් කළේය.
සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිවරයා පැවසීය.
වියත්මග විධායක සභාවේදී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කළේය.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය යොමු කෙරිණ.