පසුගිය රජය විසින් ආරමභ කර තිබූ රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාව සඳහා වන ජාතික ආයතය හා අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පැවැති ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වසා දැමීමට නව රජය තීරණය කර තිබේ.
සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්රයක් සඳහාම සුදුසු පුද්ගලයන් බදවා ගැනීමේ වැඩ පිළිවෙළක් ඇති හෙයින් ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව රජය අවධාරණය කරයි.
2015 දී මෙම කාර්යාලය ස්ථාපිත කර ඇති අතර එම කාර්යාලය වසා දැමීමට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අතර 2017 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව පිහිටුවන ලද රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනයද වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ජාතික ආයතනය භාණ්ඩාගාර ලේකම් හා අනෙකුත් නිලධාරීන්ගේ සමන්විත උපදේශක මණ්ඩලයක් සහිතව හා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයක් යුක්තව මුදල් අමාත්‍යංශයේ ඒකකයක් ලෙස ක්‍රියාත්මකවිය.
රජය විසින් සිය ක්‍රියාකාරකම් විධිමත් කිරිමට හා කාර්යයන් ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බැවින් මෙම ඒකකය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බවට හඳුනාගෙන ඇති හෙයින් එම ආයතනය වසා දැමීමට භාණ්ඩාගාර ලේකම්ට බලය පැවැරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.