මෙගාවොට් 100ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) ස්ථාපිත කිරීමේ අරමුණින් කොලොන්නාව ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දිගුකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලසුම්වලට අනුකූලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක වන විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමේ සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 100ක බලශක්ති ධාරිතාවකින් සහ මෙගාවොට් පැය 100ක ගබඩා ධාරිතාවකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සංවර්ධනය කිරීමට නියමිතය.
මේ සඳහා කොලොන්නාව ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට 2024 සැප්තැම්බර් 02 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.
අදාළ කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු හතරක් ලැබී තිබේ.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුව ඉදිරිපත් කළ Ceylex Engineering (Pvt.) Ltd සහ Xingneng Electric Power Construction Co. Ltd. යන සමාගම්වල හවුල් ව්‍යාපාරය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත.
ඒ අනුව, බදු රහිතව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.27ක්, යුරෝ මිලියන 2.61ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 555.13ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

