හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට වත්මන් රජයට අවශ්‍යව ඇති බවත්, එහිදී අධිකරණයක් ඉදිරියේ ඔහු ලබාදෙන සාක්ෂිවල ඍජු ප්‍රතිඵලයක් ලෙස යහපාලන රජයේ ප්‍රධාන චරිත විශාල 'අමාරුවකට' පත් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කෙසේවුවද බැඳුම්කර ගනුදෙනුව හරහා අවභාවිත වූ ධනස්කන්ධය නැවත ලබාගැනීමට හැකියාව ලදහොත් රටේ බදුබර තවදුරටත් අඩු කිරීමේ හැකියාව ඇති බවද එහිදී කී සභාපතිවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින්,
"අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමාව මෙරටට ගෙන්වන්න විධිමත් ඉල්ලීමක් සිංගප්පූරු රජයට කළ යුතුයි. ඒ වැඩපිළිවෙළ සම්පූර්ණ වශයෙන් කෙරුණෙ නෑ. අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට ආවහම එතුමා දෙන සාක්ෂිවල ඍජු ප්‍රතිඵලයක් හැටියට යහපාලන රජයේ ප්‍රධාන චරිත විශාල අමාරුවකට භාජනය වෙනවා.
එතුමා මේ රටට ඇවිල්ලා අධිකරණයක් යටතේ සාක්ෂි දුන්නොත් මේකෙ ප්‍රධාන චරිතය අර්ජුන් මහේන්ද්‍රන් නොවෙයි. ඊට වඩා ගොඩක් ඉහළට ගිය අය ඉන්නේ. කොහෙන්ද නියෝග ලැබුණේ? කාගේ නියෝගද එතුමා ක්‍රියාත්මක කළේ? ඒවා සියල්ලක්ම අධිකරණය ඉදිරියේ ඔප්පු වෙනවා.
ඒ නිසා පසුගිය රජයට කිසිම වුවමනාවක් තිබුණේ නෑ අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්වාගන්න. ඒකයි කල් මැරුවෙ. සිංගප්පූරු රජය ඉල්ලන දේවල් නියමිත පරිදි ලබා නොදුන්නේ ඒ නිසයි.
අපේ රජයට අවශ්‍යයි අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්වාගන්න. ඒ එතුමා එක්ක තියෙන විශේෂ තරහවකට නොවෙයි. ඒ ධනස්කන්ධය ලබාගතහොත් බදු බර තව අඩු කළ හැකියි. අනිත් පැත්තෙන් අවශ්‍යයි ඒ පුද්ගලයන්ට දඬුවම් කරන්න" යැයිද පවසා සිටියේය.