බුරවි සුළි කුණාටුව බලපෑම හේතුවෙන් මුලතිව් කෝකිලායිහි සියලුම ධීවර පවුල් කොක්කුතුඩුවායිහි පිහිටි රජයේ පාසල් දෙකක් වෙතට රැගෙන යාමට කටයුතු කල බවට මුලතිව් පොලීසිය පවසයි.
කෝකිලායි ප්‍රදේශයේ මෙන්ම මුහුද ආසන්නයේ පිහිටි නිවාසයන්හි පදිංචි පවුල් 300 කට ආසන්න පිරිසක් මෙලෙස කොක්කුතුඩුවායිහි පාසල් දෙකක් වෙතට රැගෙන යාමට පොලීසිය සහ යුදහමුදාව විසින් පියවර ගෙන ඇති අතර ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට ආපදා කළමනාකරන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
එමෙන්ම කෝකිලායි ගම්මානයේ ජනතාව ඉවත් කිරීම හේතුවෙන් ගම්මානයේ නිවාස ආරක්ෂාව සඳහාද පොලීසිය සහ යුදහමුදාව යොදවා ඇති බවටද මුලතිව් පොලීසිය පැවසීය.
කෙසේ වෙතත් කෝකිලායි ප්‍රදේශයට මේ වන විට වර්ෂාව ඇදහැලෙන අතර සුළි කුණාටුවේ බලපෑම දැඩි ලෙසින් බලපා නොමැති බවටද එහි වැසියන් වැඩිදුරටත් පවසා සිටිති.
මේ අතර මුලතිව් මුල්ලිවයික්කාල් සහ පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයටද විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා සිදුවූ අතර ආරක්ෂක අංශ වල මැදිහත්වීමෙන් ගස ඉවත් කොට ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදි.
කෙසේ වෙතත් මුලතිව්හි බුරවි සුළි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට පත්වන පුද්ගලයින්ට සහන සැලසීම සඳහා පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම යුදහමුදාව සහ ආපදා කළමනාකරන නිලධාරීන්ද මේ වන විට සීරුවෙන් සිටියි.