ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් දෙදෙනෙකු (02) සහ නාවිකයින් හතලිස් හතර (44) දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (09දා) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.
මෙම විසිර යාමේ සහ ලාංඡන පැළදවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.
සුවිශේෂී හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් වශයෙන් නාවික හමුදා මැරීන් බලඇණිය හැඳින්විය හැකි බවත්, භූ ජල තරණ ක්‍රියාන්විතයන් සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇති මෙම බලඇණිය දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට විශ්මිත අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත බවත් නාවික හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වෙරළ කළාපය හා කළපු ආශ්‍රීතව සිදු වන නීති විරෝධී කටයුතු, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී වෙළදාම මැඩපැවැත්වීම සඳහා සාර්ථකව දායක වී ඇති මැරීන් බලඇණිය, රටේ ඉදිරියේදී ඇති විය හැකි ව්‍යසනකාරී තත්වයක් හෝ ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා ඉතා ඵලදායී ලෙස යෙදවිය හැකි බලඇණියක් බවත් පවසන ලදි.