රට ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ ජනාධිපතිතුමන් විසින් වෙන් වෙන්ව පැවති ආයතන රැසක් සාමූහික කොට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් සහිතව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් පුළුල් කොට ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත්ව ගොඩනැඟීමේ අරමුණින් බවත්, එහිදී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
මෙරට පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් නවක පරිවේණාචාර්යවරුන් 263කට පත්වීම්ලබාදීම වෙනුවෙන් අද (15) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
අපේ අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක් පුරා නවීකරණය වී නොමැති බවත්, නූතන රැකියා අවස්ථා සහ සිසුන් ලබාගන්නා අධ්‍යාපනය අතර විශාල පරතරයක් පවත්නා බවත්, ඉතිහාසයේ සිටම පවත්නා සමාජ ක්‍රමයට වෛරකරන, අපේක්ෂා සුන්වූ මිනිසුන් ගොඩනැගෙන්නට හේතුව එය බවත්, මේ නිසා විෂයමාලා සංශෝධනය ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ජාතික වගකීමක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ දී දිස්ත්‍රික් මට්ටමින් සෑම සමාජ පාර්ශවයකම අදහස්, සහ යෝජනා ලබාගන්නා අතර, විශේෂයෙන්ම ආගමික සංස්ථාවේ සහාය ඒ සඳහා ඉතා වටිනා බවයි.
නීති දැඩි කිරීමෙන් පමණක් රටක් යහපත් කිරීම සම්පූර්ණයෙන් කළ නොහැකි බවද, දිනපතා මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන මත්ද්‍රව්‍ය භාවිතය, ගිනිඅවි භාවිතය, පාතාල ක්‍රියාවන් ඇතුළු විවිධ නීතිවිරෝධී සහ සාපරාධී කටයුතුවලට නීතිමය පියවර කෙතෙක් ගත්ත ද, ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් ගොඩනැංවීම ඉතා වැදගත් වන බවද, එය පෙරපාසල් අධ්‍යාපනයේ සිටම අධ්‍යාපන පද්ධතිය තුළට ප්‍රවේශ කළ යුත්තක් බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
පසුගිය වකවානුව තුළ ගමයි - පන්සලයි අතර සම්බන්ධය තරමක් දියාරු ස්වරූපයකින් පැවති බවත්, ඇතැම් පාර්ශව විසින් චේතනාන්විතවම එම තත්ත්වය ඇති කරන ලද බවත් පැවසූ අමාත්‍යවරයා, හැඟීම් නැති රොබෝවරුන් අධ්‍යාපනයෙන් බිහිකරනු වෙනුවට සමාජයට, සංස්කෘතියට ආදරය කරන මිනිසුන් තනන්නට බුදුදහම ප්රමුඛ කොටගත් ආගම් තුළින් විශාල පිටුබලයක් ලබාදිය යුතු බවද පැවසීය. අද දින පත්වීම් ලැබූ නවක පරිවේණාචාර්යවරුන්ට එම පිටුබලය මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත ලබාදීමට ශක්තිය සහ හැකියාව ලැබේවායි අමාත්‍යවරයා සුබාශිංසන එක් කළේය.