මධ්යම මාර්ග හා ප්රවාහන ව්යාපෘතිවල අක්රමිකතා කෝපා කමිටුවේ අවධානයට
මධ්යම පළාත් සභාවේ 2021 - 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති ත්රෛවාර්ෂික වාර්තාව, 2024 සහ 2025 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.
ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී 2026.05.21 දින පැවති කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳ පසු විපරමක් ද සිදු කෙරිණි.
මධ්යම පළාතේ ක්රියාත්මක මාර්ග සංවර්ධන සහ මගී ප්රවාහන ව්යාපෘතිවල ප්රගතිය, මාර්ග ඇස්තමේන්තු සකස් කිරීමේදී සිදුවූ අඩුපාඩු, ප්රමිතියට අනුකූල නොවන ඉදිකිරීම් සඳහා ගෙවීම් සිදු කිරීම සහ අනුමැතියකින් තොරව අමතර වැඩ සඳහා මුදල් ගෙවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, මගී ප්රවාහන සේවය කාර්යක්ෂම කිරීම සඳහා හඳුන්වා දුන් විද්යුත් ටිකට්පත් යන්ත්ර (ETM) සහ GPS/SIM තාක්ෂණික පද්ධති නිසි පරිදි භාවිතයට නොගැනීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. අදාළ තාක්ෂණික දෝෂ නිරාකරණය කරමින් එම පද්ධති කාර්යක්ෂමව ක්රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී කරුණු විමසන ලදී.
තවද, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නීත්යනුකූල අනුමැතියකින් තොරව උපබදු දීම, හිඟ බදු මුදල් අය කර නොගැනීම සහ රාජ්ය දේපළවල හිමිකම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, මලබාර් හවුස් ගොඩනැගිල්ල ග්රාම ශක්ති වැඩසටහනේ ව්යාපෘති කාර්යාලයකට ලබාදී එහි කුලී මුදල අයකර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අවධානය යොමු විය.
මීට අමතරව, KMTT ව්යාපෘති අරමුණු ඉටු නොවූ අවස්ථාවලදී එයට සම්බන්ධ වූ නිලධාරීන් ලබාගෙන ඇති දිරි දීමනා නැවත අය කර ගැනීම, රාජ්ය දේපළ භාවිතයෙන් ලැබෙන ආදායම් බෙදාහැරීමේදී අදාළ රෙගුලාසි අනුගමනය කිරීම සහ ප්රයෝජනයට නොගෙන අතහැර දමා ඇති ගොඩනැගිලි හා දේපළ ඵලදායී ලෙස භාවිත කිරීමේ අවශ්යතාව ද සාකච්ඡා කෙරිණි.
නිසි ක්රියාපටිපාටියෙන් තොරව කාර්යාලීය ලිපිගොනු විනාශ කිරීම සම්බන්ධ විනය පරීක්ෂණ සහ ඊට අදාළ අධිකරණ ක්රියාමාර්ග පිළිබඳව ද කාරක සභාව කරුණු විමසන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

