ඩුබායි සාදයේදී අත්අඩංගුවට පත් 31 දෙනා අතරින් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා හැර මාකඳුරේ මධුෂ් ඇතුළු ඉතිරි 29 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාවෙන් ඩුබායිවලට කිසිවෙකු පැමිණ නැතැයි වාර්තා වේ.
ඩුබායි රාජ්‍යයේ නීතියට අනුව මිනීමැරුම් වැනි වැරදි සඳහා අත්අංගුවට පත් අයෙකු බැලීම සඳහා සතියකට දින තුනක් පොලීසියට පැමිණීමට අවස්ථාව ලැබුණද, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූවෙකු හමුවීමට අවස්ථාව ලබාදෙනුයේ ඉරිදා පෙරවරු කාලයේ පමණක් බවද වාර්තා වේ.
අත්අඩංගුවට පත් අයෙකු හමුවීමට යැයි පවසා යම් අයෙකු පැමිණ සිටියහොත් ඒ සම්බන්ධව පොලිස් නිලධාරීන් විසින් අදාළ සැකකරුගෙන් විමසීමක් කර අනන්‍යතාව තහවුරු කරගන්නා අතර, පැමිණ සිටින පුද්ගලයා තමන් නොදන්නා අයෙකු යැයි එම සැකකරු ප්‍රකාශ කළහොත් පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලබයි.
අමල් හා නදීමාල් හමුවීමේදී නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාටද මෙම ක්‍රමය භාවිත වී තිබෙන අතර, පොලීසිය අමල් හා නදීමාල්ගෙන් විමසීම් කළ විට තමන් හඳුනන අයෙකු බව ඔවුන් පවසා තිබේ.
සාදයේ සිට අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනා තවදුරටත් රඳවාගෙන විමර්ශන කරගෙන යන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් සම්බන්ධව මේ දක්වා ඩුබායි පොලීසිය තීරණයක් ගෙන නැතැයිද වාර්තා වේ.
ඩුබායි රාජ්‍යයේ තරු 05න් ඉහළ හෝටල් නොමැති බවත්, ආන්දෝලනයට ලක්වූ උපන්දින සාදය පවත්වා තිබුණේ තරු පන්තියේ හෝටලයක නොව මාකඳුරේ මධුෂ්ට අයත් නිවසක බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වු නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් අයෙකු ඕනෑම කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඩුබායි පොලීසියට බලය තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ මෙන් යම් අපරාධකරුවෙකුට සහනයක් ලබාගැනීම සඳහා දේශපාලනඥයන්ට හෝ වෙනත් කිසිවෙකුට පොලීසිය වෙත බලපෑම් කිරීමට නොහැකි බවත්ය.
වසර ගණනාවක් පුරා එක්වූ සාධනීය කරුණු මත ඩුබායි නීතිය අද තිබෙන තත්ත්වයට පැමිණ තිබෙන බවත්, එය ඩුබායි වැසියන්ට ප්‍රශ්නයක් නොවන බවත්, ඩුබායි නගරය පුරා සවිකර තිබෙන අති නවීන සීසීටීවී කැමරා පද්ධතිය හේතුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වීමට පෙර පොලිසිය අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා බවත් ඒ මහතා කීය.
යම් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ යුතුද නැද්ද යන්න සම්බන්ධව විමර්ශන නිලධාරියෙකු තීරණය කළ යුතු බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට සමාන බලයක් ඩුබායි පොලීසියට ලබා දී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
උදුල් ප්‍රේමරත්න මහතා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලබන ඉරිදා යළිත් ඔවුන් හමුවීමට යොදාගෙන තිබෙන බවත්, එතෙක් පොලිසිය වමර්ශන කටයුතු සිදු කරගෙන යනු ඇති බවත්ය.