ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින මාකඳුරේ මධුෂ් හා ගායක අමල් පෙරේරා ඇතුළු 31 දෙනාගේ රුධිර පරීක්ෂණ කටයුතු ඊයේ (07දා) දිනය වනවිට නිමා වී ඇතැයි ඩුබායි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින 31 දෙනා අතරින් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින පිරිස් හඳුනාගැනීමට මෙම රුධිර පරීක්ෂණ සිදු කර තිබේ.
අදාළ රුධිර වාර්තාවලට අනුව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවාද? නැද්ද? යන්න හා මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවා නම් ඒ කොපමණ ප්‍රමාණයක්ද? යන්න හඳුනාගැනීම මෙම පරීක්ෂණවල අරමුණ වන අතර, මේ වනවිට ඩුබායි පොලීසිය අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් පවතින බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම පිරිස අතර සිටින පුද්ගලයන් කීපදෙනෙකුම සැලකිය යුතු ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට ඩුබායි පොලීසිය සැක කරයි.
ඩුබායි රාජ්‍යයේ නීතිය අනුව දඬුවම්වල ස්වභාවය තීරණය වනුයේ මත්ද්‍රව්‍ය භාවිත කළ ප්‍රමාණ සහ ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණ මත බව ආරක්ෂක අංශ සඳහන් කරයි.උපන්දින සාදයේ සිටි පිරිස අතරින් මූලිකවම අත්අඩංගුවට ගත් පිරිස හතළිහක් බව මේ වනවිට තහවුරු වී ඇති අතර, එම පිරිසෙන් පිරිමි හතර දෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු ඩුබායි පොලීසිය විසින් මේ වනවිට නිදහස් කර තිබේ.
අදාළ වැටලීම සිදුවන අවස්ථාවේදී අංගොඩ ලොක්කා නමින් හඳුන්න තැනැත්තා හා මධුෂ්ගේ බිරිඳ ලෙස සැලකෙන මියගිය කළු තුෂාරගේ බිරිඳ පැනගොස් ඇතැයිද වාර්තා වේ. ඇය පැනයන අවස්ථාවේ අවුරුද්දක් වයසැති දරුවාද සිට ඇති බවද පැවසේ. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටද ඩුබායි පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම සිදුවීම පිළිබඳ ඩුබායි පොලීසිය හෝ ඩුබායි රජය මෙරට ආරක්ෂක අංශවලට හෝ රජයට නිල වශයෙන් මෙතෙක් තොරතුරු ලබා දී නොමැති හෙයින් සමස්ත සිදුවීම හා අත්අඩංගුවේ පසුවන 31 දෙනා පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට ශ්‍රීලංකා පොලීසිය විසින් ඩුබායි පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව කියවෙන කඹුරුපිටිය ප්‍රාදේශිය දේශපාලන නියෝජිතයන් දෙදෙනා සහ එම ප්‍රාදේශිය සභාවේ සේවකයා, එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයා, කළුතර බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරියා සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරත පොලිස් නිලධාරියා පිළිබඳවත්, සෙසු සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳවත් කරුණු තහවුරු කර ගැනීම සඳහා මෙම සවිස්තර වාර්තාව ඉල්ලා තිබේ.
අදාළ වාර්තාව ලැබීමෙන් පසු ඔවුන් පිළිබඳ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය බලාපොරොත්තු වෙයි. කෙසේ වෙතත් පළමුව ඩුබායි නීතිය අනුව මෙම පිරිස පිළිබඳ තීරණ ගනු ලබන බවද පැවසේ.
අදාළ වැටලීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අනුදැනුම මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකර ඇතැයි වාර්තා වෙයි. මෙම මෙහෙයුමේ ක්‍රියාකාරී කාර්යයන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තිදෙනෙකු විසින් සිදුකර ඇතැයිද වාර්තා වේ.
මේ අතර, ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු ඊයේ පරීක්ෂා කළහ. අමල් පෙරේරාගේ නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු දෙකක් සොයාගත් බවද පොලීසිය සඳහන් කරයි. එහිදී අමල් පෙරේරාගේ සොයුරු සොහාන් පෙරේරා අත්අඩංගුවට පත් වූ බව පැවසුණද ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා ඊයේ (07දා) රාත්‍රී 8.30ට පමණ සජීව පණිවුඩයක් තබමින් කියා සිටියේ තමන් අත්අඩංගුවට පත්නොවූ අතර, සිය සොහොයුරා වන අමල් පෙරේරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කවර දෙකක් සොයාගත් බවත්, පැමිණි නිලධාරීන් තමන් සමග සුහදව කතා කර නිවස පරීක්ෂා කර නැවත ගිය බවත්ය.
එමෙන්ම, රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවසද පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඔහුගේ නිවස තුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාෙගන තිබිණි. අදාළ සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීමට රයන් වෑන් රෝයන්ගේ සොයුරාද අත්අඩංගුවට ගෙන තිබේ.