මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ වන ස්ථානයක් නොමැති බවත් අඩුම තරමේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස හෝ ඉක්මනින් නිම කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකට අද (14දා) එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
“මීරිගමින් (මධ්‍යම අධිවේගී මාර්ගය) ආරම්භ කරලා තියෙනවා. මුලක් නැහැ. මේක විතරක් නෙවෙයි. ත්‍රෛනිකායික නායක හාමුදුරුවන් වහන්සේලාට මොනවා කිව්වත්, කිරිඇල්ල ඇමතිතුමා සහ හිටපු අගමැතිතුමා ඇත්ත වශයෙන්ම ඔවුන් කිසිම සැලසුමක් නැතිව වැඩකටයුතු කරලා තියෙන බවයි අපට පේන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඉතාමත් ඉක්මනින් වැඩ කටයුතු ආරම්භ කරලා ඉවර වෙලා අවසන් කරන්න.
මට දැනෙන විදියට මේ මීරිගම කොටස අවසන් කරන්න තවත් වසර 04ක් පමණ ගත වෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මීරිගම ඉඳලා කුරුණෑගලට හැකි තරම් ඉක්මනට හදලා ඉවර කරන්න. අඩු ගාණෙ මීරිගම සිට කුරුණෑගලට හරි ජනතාවට යන්න පුළුවන් වෙන්න. මේ සම්පූර්ණ වගකීම පසුගිය රජය ගන්න ඕන. කයිවාරු ගැහුවට, මඩ ගැහුවට ඔවුන් වැඩ බැරි අසාධාරණ ආණ්ඩුවක් හැටියටයි අපි දකින්නේ”