මැණික් කර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව ආරක්ෂා කිරිමට පියවර ගන්නා බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.
පළාතේ පාරම්පරික ජීවනෝපාය අයිතිය හැමෝටම සාධාරණව ලැබෙන ආකාරයට ඇළට ,දොළට, ගඟට හානියක් නොවන විදිහට උදැල්ල, කූඩය උපයෝගී කරගෙන මැණික් ගලක් හොයා ගැනීමේ වාසනාව උදා කර ගැනීමට මහින්ද මහතා ජනාධිපති වශයෙන් කටයුතු කරන කාලයේ අවස්ථාව ලබා දුන් බව රත්නපුර ශිවන් කෝවිලේ පැවති “තෛපොංගල්” උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට අදහස් දැක්වීමේ දී ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නානායක්කාර මහතා,
“පසුගිය කාලයේ එය තහනමට ලක් කරලා. විශේෂ පොලිස් කාර්යසාධක බලකාය මගින් ඒවා නවත්තන්නට පියවර ගත්තා. හැම තැනම වැටලිම් කළා. ඒ නිසා අපේ මිනිස්සු බොහොම අමාරුකම්වලට පත් වුණා. එය තාමත් සිදු වෙමින් පවතින බව අපට දැන ගන්නට ලැබුණා. එය වෙනස් කරන්න කියලා අපි ආණ්ඩුවට, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කියලා තිබෙනවා.
අද උදේ මම විශේෂ පොලිස් බලකායේ මධ්‍යස්ථානයට කතා කරලා දැන ගත්තා ඒ අය මේ කරන්නේ පරිසරය ආරක්ෂාව වෙනුවෙන් පසුගිය ජනාධිපතිතුමා විසින් කර තිබෙන නියෝගයක් අනුව කියලා.
ඔවුන් කියා සිටියා සැබවින් ම මේ රජය ඔවුන්ට දැනුම් දෙනවා නම් මැෂින් භාවිත නොකර උදැල්ලෙන්, කූඩයෙන් ගල් කෑල්ලක් හොයන්න ගඟට ඇළට මැෂින් නොදමන මැණික් ක්‍රියාකාරිත්වයට විශේෂ කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා. ඒ අනුව අගමැතිතුමාට කථා කළා. මේ තත්ත්වය පැහැදිලි කළා. මැෂින් යොදන්නේ නැතුව ගඟට ඇළට දොළට බැහැලා උදැල්ලෙන්, කූඩයෙන් මැණික් ගරා ගන්න අය පිළිබඳව පරිසරයට හානියක් කරනවා කියන නීතිය උඩ. වැටලීම්වලට යටත් කරන්න එපා කියලා විශේෂ පොලිස් කාර්ය බලකායට කියන්න කියලා එතුමාගෙන් මං ඉල්ලා සිටියා. එතුමාගේ ලේකම්ටත් කියා සිටියා. ඉදිරිකාලයේ දී එතුමා ජනාධිපතිතුමා සමඟ කතා කරලා විශේෂ පොලිස් කාර්ය බලකායට ඒ පිළිබඳ අලුත් නිවේදනයක් නිකුත් කරන බව කිව්වා.
අපි විශ්වාස කරනවා තවත් සතියකින් අපිට දැනගන්න පුළුවන් විශේෂ කාර්ය සාධක බලකාය ගඟට, ඇළට,දොළට හානියක් නොකර මැණික් කැටයක් සොයා ගැනීමට, ඒ ජීවන උපායට බාධාවක් නැතිව ක්‍රියාකරනු ඇතැයි කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.