2020, 21, 22 සහ 2023 යන සිවු වසර තුළ රටේ මූලික අභියෝගය බවට පත්ව ඇත්තේ ණය ගෙවීම බවත්, ඒ අනුව මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන හයක මුදලක් ණය වාරිකය සහ පොලිය ලෙස ගෙවීමට සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (19දා) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළකළ මන්ත්‍රීවරයා,
“ඇත්තටම අපි කවුරුත් දන්නවා 2020, 2021, 2022 සහ 2023 යන අවුරුදු ඉතාමත්ම අභියෝගාත්මකයි. ණය ගෙවීම සම්බන්ධයෙන් රටේ තියෙන මූලිකම අභියෝගය වෙන්නෙ ඒක. ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි පටන් අරගෙන තිබ්බා.
උදාහරණයක් හැටියට 2018 වසරේ ණය කළමනාකරණ පනත අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරලා, ඒ ණය කළමනාකරණය කරගැනීම පිණිස වැදගත් කටයුතු බොහෝමයක් ඉෂ්ට කළා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතරමගදී තෝරාගත්තා.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව අපි රටේ පුරවැසියන් හැටියට, රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට වගකීමක් තියෙනවා මේ වැඩපිළිවෙළ රට කඩාගෙන නොවැටෙන තැනට ගේන්න අවශ්‍ය ඒ සහයෝගය ලබාදෙන්න.
අපි දන්නවා මේ අවුරුද්දෙ ඩොලර් බිලියන හයක් නැවත ණය වාරිකයයි, පොලියයි හැටියට ශ්‍රී ලංකාවට ගෙවන්න වෙලා තියෙනවා. දැන් බොහොම දෙනෙක් කතා කරන්නේ රජයට ගෙවන්න තියෙන ණය පිළිබඳ විතරයි.
රජයට ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන හතරයි දශම අටක්. හැබැයි කවුරුත් කතා කරන්නැති දෙයක් තමයි ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන එකයි දශම දෙකක්. මේක අලුත් ප්‍රවණතාවක්.
මොකද ලංකාවේ පුද්ගලික අංශය වෙනත් රටවලින් වාරික ණය ගත්ත ප්‍රමාණය ඒ කාලේ බොහොම අඩුයි. දැන් තමයි ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය කර්මාන්ත, බැංකු මේවා ජාත්‍යන්තරයට ගිහින්, ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් වාණිජ ණය අරන් තියෙනවා ඔවුන්ගේ වැඩකටයුතු සඳහා. එතකොට සමස්තයක් හැටියට ශ්‍රී ලංකාවේ මහ බැංකුවට සිද්ධ වෙලා මේ ඩොලර් බිලියන හය ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතාවට හා පෞද්ගලික අංශයේ අවශ්යතාවවලට ලබාදෙන්න" යැයිද පැවසීය.