විනෝද කටයුතු, ආගමික කටයුතු, නීති රීති දාලා වළක්වන්න බැරි බවත්, ජනතාව ඒවා පිළිපදින්නේ නැති බව පසුගිය වසර එකහමාරක කාලය තුළ අපි දැක ගත හැකි වූ බවත් එන්නත් කරන වැඩ පිළිවෙලේ තෙවන මාත්‍රාව බූස්ටර් එන්නත ලබා නොගතහොත් එළඹෙන දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් බලාපොරොත්තු වන්න පුළුවන් යැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
අද (12) දහවල් අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.
"මේ වන විට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් කරන වැඩ පිළිවෙලේ අවසන් අදිරය ට ලංකාව පැමිණ තිබෙනවා. අප තීරණය කළා ලංකාවේ වයස අවුරුදු 20ට වැඩි, මේ වන විට පළමු හා දෙවන මාත්‍රාව ලබා ගෙන තිබෙන සියලු දෙනා හට තුන්වන මාත්‍රාවක් විදියට බූස්ටර් එන්නතක් ලබා දෙන්න. ප්‍රතිශක්තිකරණ නැවත වැඩි කිරීම සඳහා තමයි එම එන්නත ලබා දෙන්නේ.
මේ වන විට ලංකාව තුළ තමන් ජීවත් වන ස්ථානයට සමීපව තිබෙන තමන්ට පහසු ඕනෑම එන්නත් කරන මධ්‍යස්ථානයකට ගිහිල්ලා බූස්ටර් එන්නත ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ෆයිසර් එන්නත තමයි අපි බූස්ටර් එන්නත විදිහට ලබා දෙන්නේ, පසු ගිය දවස්වල බොහෝ අය කිව්වා හොඳම එන්නත ෆයිසර් එන්නත කියලා.
තුන් වන මාත්‍රාව ලබා ගන්න මුල් දවස්වල අඩු උනන්දුවක් තමයි ජනතාවගේ තිබුණේ ඊයේ දිනය වන විට නැවත ඒ සඳහා උනන්දුවක් ඇති වී තිබෙනවා. ඊයේ තමයි වැඩිම එන්නත් ප්‍රමාණයක් බූස්ටර් එන්නත විදිහට ලබා දී තිබුනේ. එය 81208ක් මාත්‍රා ඊයේ (12) ලබා දී තිබෙනවා. මේ වන විට සමස්තයක් ලෙස බූස්ටර් එන්නත් මාත්‍රා 12'66000 ලබාදී තිබෙනවා.
දෙසැම්බර් අවසන් සති දෙකේදී රටේ බොහෝ දෙනෙක් විවිධ ආගමික සිද්ධස්ථානවලට, විනෝද චාරිකා වල, නෑ හිතවතුන්ගේ ගෙවල්වලට යනවා. අපට එය සීමා කිරීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙම සීමා කරන්න හැදුවත් පසුගිය වසර එකහමාරක කාලය තුළ අපි දැක්කා, උත්සව කාලවලදී ජනතාව හැසිරෙන ආකාරය. ඒ අයගේ ගමන් බිමන්වල කිසිම අඩුවක් නැහැ.ඒ ගමන් බිමන් යන්න කලින් බූස්ටර් එන්නත ලබා දෙන්න අපි තීරණය කළා.
ඇඟලුම් කර්මාන්තවල රජයේ ආයතන වල, ආර්ථික මධ්‍යස්ථාන වැනි ජනතාව බොහෝ පිරිසක් ගැවසෙන ස්ථානවල අයට අපි දැනුම් දෙනවා හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න කියලා. එය ලබා ගන්නේ නැතුව තමන්ගේ ගම්බිම් වලට යන්න එපා. ඔබගේ ආගමික කටයුතු, විනෝද කටයුතු, නෑ ගමන් අපිට නීති රීති දාලා වලක්වන්න කිසිම උවමනාවක් නැහැ. රජයක් විදිහට අපිට කරන්න තිබෙන්නේ බූස්ටර් එන්නතක් ලබා දීමයි, එසේ නොමැති වුව හොත් යළිත් දෙසැම්බර් අවසාන සතියේ යලිත් සුනාමියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. සුනාමිය වළක්වගන්න තමයි බූස්ටර් එන්නත ලබා දෙන්නේ.
තෙවන මාත්‍රාව ලබා ගත් අයට අතුරු ආබාධ ඇති වෙනවා කියලා විවිධ කට කතා, සමාජ මාධ්‍ය වල පළ වන වාර්තා සත්‍යතාවයන් තොරයි. රට වෙනුවෙන් ඔබට කරන්න තියෙන්නේ, එන්නත ලබා ගෙන පොදු ස්ථානවලට ගමන් කරන්න කියන එකයි."