රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබුණහොත් දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින විශාල පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරිය හැකි බවත්දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බොහෝ පිරිසක් රඳවා තබාගැනීමට සිදුව තිබෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම නිසා බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහනුවර දී පැවසිය .
අමාත්‍යවරිය ඒ බව සඳහන් කරසිටියේ දුම්බරබෝගම්බර නව බන්ධනාගාරයේ හා බෝගම්බර පැරණි බන්ධනාගාරය නිරීක්ෂණ චාරිකාවක් සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .
එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයට පිළියමක් ලෙස කඩිනම් රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට එහි කාර්ය මණ්ඩලය වැඩි කිරීම සඳහා විශේෂ අනියුක්ත කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙන බවත්ය .
මේ වන විට 11,000 ක් රඳවා තැබිය හැකි තැන 31,000ක් රඳවා සිටින බවත් මින් බහුතරය මත්ද්‍රව්‍ය චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අය බවත් ඇය ප්‍රකාශ කළාය.
දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරය යළි තාවකාලිකව බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට පවරා ගෙන අලුත්වැඩියා කර එවන් බන්ධනාගාර ගත කර සිටින පිරිසක් එයට යොමු කිරීමට අදහස් කරන බව ද අමාත්‍යවරිය පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ද අධිකරණයට ඉදිරිපත් කරන්නේ එකම නීතිය යටතේ බවත් මේ නිසා මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ අයට ඇප ලබා ගැනීමද මහාධිකරණය මගින් කළ යුතුව තිබෙන බවත් කී රාජ්‍ය ඇමතිනිය මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් කලින් හඳුනාගෙන අධිකරණය හරහා පුනරුත්ථාපනයට යොමු කිරීමට හැකි ලෙස නීති සංශෝධනය විය යුතුව තිබෙන බවත් ඇය පැවසීය.
බන්ධනාගාරවල විශාල නිලධාරි හිඟයක් තිබෙන බවත් රැඳවියන් එකොළොස් දහසක් සිටිය යුතු තැන තිස් එක් දහසක් සිටියදී නිලධාරීන් කටයුතු කරන්නේ දැඩි ආතතියකින් බවත් ඇය පැවසුවාය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැනට නිලධාරීන් 2000 කගේ පමණ හිඟයක් තිබෙන බවත් ඉදිරියේදී අවශ්‍ය අනුමැතියක් ලබාගෙන එම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් කී ඇමතිවරිය සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිලධාරීන් 450 - 500 ත් අතර පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබෙන බවත් ඇය අවධාරණය කළාය .
ෂේන් සෙනවිරත්න