බදුල්ල මහනගර සභාවේ වර්ෂ 2020 සඳහා වූ අයවැය අද (27)දා දෙවන වරටත් වැඩිඡන්ද 01කින් පරාජයට පත්විය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව පාලනය ගෙනයන බදුල්ල මහනගර සභාව ශ්රී ලං.පො.පෙ.සභිකයින් 07ක් එ.ජ.නි.ස. සභිකයින් 05 ක් එ.ජා.ප. සභිකයින් 09 ක් ජ.වි.පෙ. සභිකයින් 03 දෙනෙක් සහ ශ්රී ලං.පො.පෙරමුණෙන් නගර සභාවට තේරි පත්ව මේ වන විට විපක්ෂයේ ස්වාධීන මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කරන එක් සභිකයෙකුද වශයෙන් සභිකයින් 25 දෙනෙකුගෙන් සමන්විතය.
එම මහනගර සභාවේ නගරාධිපති ඩබ්.ඩී.ප්රියන්ත අමරසිරි මහතා (ශ්රී ලං.පො.පෙ.) විසින් වර්ෂ 2020 සඳහා වූ සිය අයවැය ප්රකාශය පසුගිය (16)දා සභාවට ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳව පැවැති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 12 ක් හා අයවැයට විරුද්ධව ඡන්ද 13 ක්ද ලැබීමෙන් වැඩිඡන්ද 01 කින් පරාජයට පත්විය.
එබැවින් නගරාධිපතිවරයා සතු බලතල අනුව අද (27)දා දෙවන වරටත් අයවැය සභාවට ඉදිරිපත් කෙරුණු අතර එහිදීද නගරාධිපතිවරයා ඇතුළු ශ්රී ලං.පො.පෙ. සහ එ.ජ.නි.ස.ය නියෝජනය කරන සභිකයින්12 දෙනා අයවැයට පක්ෂවත් එ.ජා.ප.යේ මන්ත්රීවරුන් 09 දෙනා සහ ජ.වි.පෙරමුණේ මන්ත්රීවරුන් 03 දෙනාද ස්වාධීනව සිටින මන්ත්රීවරයාද අයවැයට විරුද්ධවත් ඡන්දය ප්රකාශ කළහ.
ඒ අනුව වර්ෂ 2020 සඳහා වූ බදුල්ල මහනගර සභාවේ අයවැය වාර්තාව දෙවන වරටත් වැඩි ඡන්ද 01 කින් පරාජය විය.
කෙසේ වුවද මහනගර සභා පනතින් නගරාධිපතිවරයාට හිමි බලතල අනුව අයවැය ප්රකාශය සම්මත වූවා සේ සලකා ඉදිරි කටයුතු ක්රියාත්මක කළ හැකි බව බදුල්ල මහනගරාධිපති ඩබ්.ඩී.ප්රියන්ත අමරසිරි මහතා (ශ්රී ලං.පො.පෙ.) එහිදි පැවසීය.