යූරියා පොහොර මිටි දහදාහක් පමණ අවශ්‍ය දඹුල්ල රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි දෙසීයක් ලැබීම හේතුවෙන් එය බෙදාගැනීමට අලෙවි කිරිමට නොහැකිව ගොවීන් හා රජයේ පොහොර ගබඩා සේවකයින් අතර අද ( 07) දින උණුසුම් තත්ත්වයක් ඇතිවි තිබේ.
ඒ අනුව පොහොර මිටි දෙසීය බෙදාගැනීමේ ක්‍රමවේදයක් නොමැතිවිම හේතුවෙන් ගබඩාවේ දඹුල්ල කාර්යාලයේ පාලකවරයා එක හැඳුනුම්පතට ගොවියකුට පොහොර මිටි දෙක බැගින් නිකුත් කිරීමට පටන් ගෙන ඇතැයි ගොවීහු කියති.
විනාඩි කිහිපයක් ගතවෙද්දී පොහොර මිටි 200 අවසන් වීම සහ හැඳුනුම්පත් රැගෙන නොපැමිණි සිටි හා හැඳුනුම්පත් නොමැති ගොවීන්ට නැවත හැදුනුම්පත රැගෙන එද්දී පොහොර අවසන්වීම නිසා අසාධාරණ වූ බවද ගොවිහු පවසති .
දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳසැල්වල සහ රජයේ ගබඩාවේද යූරියා පොහොර දින ගණනාවක සිට හිඟයක්ව පැවතීම නිසා ගොවිතැන් කටයුතුවලට විශාල බාධා එල්ල වි ඇතැයි ගොවීහු පවසති.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් අද දින දඹුල්ලේ පිහිටි රජයේ පොහොර ගබඩාව සහ පෞද්ගලික වෙළෙඳ ස්ථානවල පොහොර ඇත්දැයි සොයා බැලීම සඳහා පැමිණ සිටියහ. එහිදී ගොවීන් සහ ව්‍යාපාරිකයින් කියාසිටියේ මේ වනවිට පොහොර ලැබීම ප්‍රමාදවීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවය .
එමෙන්ම දඹුල්ල ලක් පොහොර ගබඩාව කළමනාකරු එස් .පි .යු .පතිරණ මහතාගෙන් විමසිමේදී කියාසිටියේ තමන්ට පොහොර මිටි දෙසීයක් රජයෙන් ලැබුණු බවත් ඒවා ගොවීන්ට බෙදා දීමේ අවශ්‍යතාවය නිසා හැදුනුම්පත ලබා ගෙන එක් ගොවියෙකුට මිටි දෙක බැගින් ලබාදීමට අවශ්‍ය පියවර ගත් බව ය. එම ටික ද අවසන් වූ බව හෙතෙම කියාසිටියේය. සහනාධාර පොහොර අවශ්‍ය තරම් ගබඩාවේ පවතින බවත් කිලෝ 50ක මිටියක් රුපියල් 1000කට අලෙවි කරන පොහොර මෙසේ හිඟව පවතින බවද හෙතෙම කියා සිටියේය .
එමෙන්ම දඹුල්ල නගරයේ පොහොර ව්‍යාපාරිකයෙකු වූ ඒ .ඩබ්ලිව් ,ඒ ,බණ්ඩාර සාරලංකා මහතා කියාසිටියේ පොහොර හිඟය නිසා තම ව්‍යාපාර ආයතන පවා කඩා වැටී ඇති බවය. කම්කරුවන්ට වැටුප් ගෙවීම ලොරි රථ පාලනය කිරීම ආදී සියල්ල කඩා වැටී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම කුලි කම්කරුවාගේ සිට මහා පරිමාණ ගොවියා දක්වාම පවුල් පිටින් මෙම හානියට ගොදුරු වී තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. කඩිනමින් මෙම පොහොර හිඟයට විසඳුම් ලබා නොදුණහොත් සිදුවන්නේ ඉදිරියේදී එළවලු වගාව වී වගාව හානියට පත්ව ගොවීන් වගාවෙන් ඉවත්වන බවද හෙතෙම පෙන්වා දුන්නේය . දිනකට පොහොර ලොරි හතරක් පමණ අලෙවි කරන බවත් මෙවැනි පොහොර ඇටයක් හෝ අලෙවි කර ගැනීමට තත්ත්වයක් නොමැති බවද බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියාසිටියේ මෙම රජය බලයට පත් වූයේ නොමිලේ ගොවීන්ට පොහොර ලබා දෙන බව පවසා බවත් මේ වන විට පොහොර මිලදී ගන්නට වත් නොමැති තත්ත්වයට පත්වි තිබෙන බවය. නොමිලේ දෙන ඒ කතාව නිසා බොහෝ පොහොර ගෙන්වන ව්‍යාපාරිකයින් පොහොර ගැනීම ප්‍රමාද කළ බවත් ඇතැම් ගොවීන් වගාවෙන් ඉවත්ව නොමිලේ පොහොර ලබාගෙන වගා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බවද හෙතෙම සඳහන් කළේය. අවසානයේදී හිඟය බරපතළ ලෙස රටට දැනෙමින් පවතින නිසා රජය කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමුකර ගොවීන්ට පොහොර ටික ලබාදිය යුතු යැයි හෙතෙම පෙන්වා දුන්නේය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස