පසුගිය රජය සමයේ සිදුවූ දූෂිත ටැබ් පරිගණක ගනුදෙනුව පිළිබඳ ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සඳහා අද (16) අල්ලස් කොමිසමට නීතිඥ උදය ගම්මන්පිල මහතා පැමිණියේය.
එහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වු ගම්මන්පිල මහතා,
"පසුගිය ආණ්ඩුවේ තවත් ආන්දෝලනාත්මක දුෂිත ගණුදෙනුවක් වන ටැබ් පරිගණක වංචාව පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට මම කළ පැමිණිලි පිළිබඳව විමර්ශනය තමයි අද දින සිද්ධ කළේ. අකිල විරාජ් කාරියවසම් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා තමන්ගේ හිතවත් සමාගමකට බාල ප්‍රමිතියෙන් යුතු ටැබ් පරිගණක ලබාදීම සඳහා ටෙන්ඩරයක් ලබාදී තිබෙනවා. මෙම ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා පත් කළ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ප්‍රමිතියෙන් යුතු ටැබ් පරිගණක ලබාගන්නා ලෙසට, විශේෂයෙන්ම ටැබ් පරිගණකයෙන් පිටවන විකිරණ හා තරංග වලින් දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ල නොවන බවට තහවුරු කිරීම සඳහා යුරෝපීය ප්‍රජාවේ සහ ඇමරිකානු එක්සත් ජනපදයේ “ ෆෙඩරල් කමිනිකේෂන් කමිෂන් ” කියන ආයතනයේ ප්‍රමිති සහතිකය ලබාගැනීම අනිවාර්යය කර තිබුණා.
නමුත් එවැනි සහතිකයක් නොමැති සමාගමකට පරිගණක සඳහා ටෙන්ඩරයක් ලබාදෙන මෙන් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා තාක්ෂණික ඇගයීම් කමිටුවට බලපෑම් කළ විට තාක්ෂණික ඇගයීම් කමිටුව එය ප්‍රතික්ෂේප කළා. එවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යංශයට ලියනවා මේ තාක්ෂණික ඇගයීම් කමිටුව ඉවත්කරලා අලුත් කමිටුවක් අපට දෙන්න කියලා. එවිට මුදල් අමාත්‍යංශය දැනුම් දෙනවා මෙම සමස්ත කමිටුව ඉවත් කලවිට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව සමාජයට බරපතළ ගැටලුවක් ඇතිවන බව. ඒ නිසා එය කරන්ට බැහැ කියා ප්‍රතික්ෂේප කළා.
නමුත් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය ද නොමඟ යවමින් මේ බාල ප්‍රමිතියෙන් යුතු පරිගණක සැපයීමට ඉදිරිපත් වුණු සමාගමට ටෙන්ඩරය ලබා දුන්නා. බාල ප්‍රමිතිය යුතු ටැබ් පරිගණක අපේ දරුවන්ට භාවිතා කිරීමට ලබා දුන්නොත් වඳභාවය ඇති වීම, පිළිකා ඇතිවීම, සමේ රෝග ඇතිවීම, ඇස් පෙනීම දුර්වල වීම, වැනි භයානක රෝග ගණනාවකට ගොදුරු වීමේ අවදානමක් ද තියෙනවා. එනිසා තමන්ට ලැබෙන කොමිස් මුදල් වෙනුවෙන් අනාගත පරපුර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ වෑයමක තමයි මේ ටැබ් පරිගණක වංචාවේ තියෙන්නේ.
මේ වන විට මෙම බාල ප්‍රමිතියෙන් යුතු පරිගණක 96 000 ක් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර අවසන්. නමුත් වත්මන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා අමාත්‍ය ධූරයට පත්වී දින හතරක් ඇතුළත වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමටම මෙම පරිගනක මිලදී ගැනීම් අත්හිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා මිලදී ගැනීම දැන් තාවකාලිකව අත්හිටුවා තියෙනවා.
අප අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියේ මේ බාල ප්‍රමිතියෙන් යුතු ටැබ් පරිගණක මිලදී අරගෙන අපේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය විනාශ කිරීම වහාම නතර කර දෙන ලෙසයි. ඒ වගේ මේ දුෂිත ගණුදෙනුවට සම්බන්ද දේශපාලකයන්ට සහ නිලධාරීන්ට ද දඩුවම් ලබාදෙන ලෙස අප මේ අවස්ථාවේ ඉල්ලා සිටියා.
ඒ වගේම මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අප හිතමිත්‍ර සජිත් ප්‍රේමදාස මහතා ගෙන එන්නට එම පක්ෂයේ බහුතර මන්ත්‍රි කණ්ඩායම ලොකු සටනක් දෙනවා. සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද ලක්ෂ 13 හමාරකින් පරාජය කළ පුද්ගලයෙක්. දැවැන්ත පරාජයක් ලද කෙනෙක්ව එජාපයේ නායකත්වයට ගෙන එනවා කියන්නේ තවත් වසර විස්සක් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පරාජයට ලක් වෙමින් විපක්ෂයේ සිටිනවා කියන එකයි. මෙවැනි බරපතළ මැතිවරණ පරාජයන් ලද අයෙකු පක්ෂ නායකත්වයට ගෙන එන්නේ පක්ෂ නායකත්වයට ගෙන ආහැකි වෙනත් අයෙකු පක්ෂය තුළ නැතිවන තරමටම එක්සත් ජාතික පක්ෂය බංකොලොත් නිසාද කියලා අපිට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රිතුම්නලාගෙන් අහන්නට කැමතියි" යැයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.