එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීමේ සිද්ධියෙන් මිය ගිය කැස්බෑවුන් 417 දෙනෙක්, ඩොල්ෆින් මතස්‍යයින් 48 දෙනෙකු වගේම තල්මසුන් 8 දෙනෙකුගේ සිරුරු මේ වෙනකොට ගොඩ ගසා ඇති බව අධිකරණය හමුවේ අද අනාවරණය වුණා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් මිය ගිය මුහුදු සත්ත්වයන් පිළිබද සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ මේ බව සදහන් කළා. වනජීවි දෙපාර්තමේන්තුව මගින් මෙම දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සපයා දී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ගිනි ගැනීමට ලක්වූ නෞකාව ආසන්නයේ තිබූ ජල සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ අතර එහි පෙට්‍රෝලියම් සංඝටක අඩංගුව තිබූ බව ද අනාවරණය වූ බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ තවදුරටත් සදහන් කළේ. නෞකාවෙන් ලබා ගත් දත්ත රෙකෝඩරය ද පරීක්ෂා කිරීමේ කටයුතු රජයේ රස පරීක්ෂකවරයා සිදු කරන අතර ඒ සදහා යන්ත්‍රය නිෂ්පාදනය කළ මව් සමාගමේ සහාය ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බව ද අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණා.
මෙම නඩුව සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඇතැම් වගකීම් විරහිත ප්‍රකාශ හේතුවෙන් කොළඹ වරායටත් සමස්තයක් ලෙස රටටත් දැඩි හානියක් සිදුවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඉන් රජයේ නිලධාරීන් දැඩි සේ අපහසුතාවට ලක්වන බවද සදහන් කළා.
පැමිණිල්ල නැවත අගෝස්තු 18 වනදා කැදවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා.