දැනට බූස්ස බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින පාතාලයේ ප්‍රබලයන් තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන් බන්ධනාගාරයට එන විට පරීක්ෂා නොකරන ලෙස ඉල්ලීමක් කරන බවත් බූස්ස බන්ධනාගාරයට ඇතුළු වන විට ආරක්ෂක ලේකම් වන තමන්ව ද පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබියදී අපරාධ චෝදනා ලත් අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන් බන්ධනාගාරයට පැමිණෙන විට පරික්ෂානොකර සිටීමට කිසිදු හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය .
ඒ මහතා එසේ පවසා සිටියේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට සිදු කරනු ලබන අඛණ්ඩ වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබීමට බන්ධනාගාරවල ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන්ගෙන් කොටසක් දැනට වසා දමා තිබෙන බෝගම්බර පැරණි බන්ධනාගාරය රැඳවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ (12) පල්ලෙකැලේ හා බෝගම්බර බන්ධනාගාර වල නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමිනි .
එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය ,
අසාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙරට දරුණුතම අපරාධකරුවන් පිරිසක් බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයක නිරත වුවත් තව දින දෙක තුනකින් ඔවුන්ට බඩගින්න දරාගැනීමට නොහැකිව ආහාර වර්ජනය අතහරී . මරාන්තික උපවාසයක් සිදු කර මෙරට මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණයි. ඔහු ද මරණයට පත්වූයේ අසනීප තත්ත්වයක් තිබියදී උපවාසයට එක් වීම නිසයි.
මාරාන්තික උපවාස කරන සියලු දෙනා දින කීපයක් උපවාසයේ නිරතව සිට බඩගින්න දරාගත නොහැකි මට්ටමට එන විට මොකක් හෝ හේතුවක් ඉදිරියට දමා කවුරුන් හෝ ලවා වතුර නැත්නම් තැඹිලි පොවාගෙන උපවාසය අත්හැරීම සාමාන්‍ය දෙයක් . දැනට බූස්ස බන්ධනාගාරයේ උපවාසයේ නිරත පිරිස ගෙන් කොටසක් මේ වන විටත් උපවාසය අත්හැර තිබෙනවා . ඒ අනුව පිරිසත් තව සුළු කාලසීමාවකදී උපවාසය අත්හරී කියා විශ්වාස කරනවා .
උපවාස සිදුකර ඉල්ලන්නේ මොනවාද කියන එක ඉතා වැදගත් . අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නේ නම් ඒවා ඉටු කිරීමට කිසිදු හැකියාවක් නැහැ . බූස්ස වැනි අධි ආරක්ෂිත සිර ගෙදරක පරීක්ෂණ කටයුතු පිළිබඳ කතා කිරීමට රැඳවියන්ට කිසිදු අවශ්‍යතාවයක් නැහැ . තත්ත්වය තරාතිරම නොබලා වැරදි කරන අය අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නවා . පොලීසිය හමුදාව හා බන්ධනාගාරය තුළ සිට වැරදි කරන නිලධාරීන්ට එරෙහි වත් නීතිය ක්‍රියාත්මක කිරීම මුලින්ම ආරම්භ කලේ පිට ඉන්න වැරදිකරුවන්ට කලින් ඇතුල පිරිසුදු කර ගැනීමට අවශ්‍ය වු නිසයි.
කුමක් හෝ වරදක් නිසා හිරේ විලංගුවේ වැටුනත් ඔවුන්ද අපේම රටේ මිනිසුන් . ඔවුන් බන්ධනාගාරවලට කොටුකිරීමට පමණක් සීමා නොවී නිසි පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ඔස්සේ සමාජය තුළ යහපත් පුරවැසියන් ලෙස ජීවත් විය හැකි මානසිකත්වයක් ඇති පිරිසක් බවට ඔවුන්පත් කොට සමාජගත කිරීමට පියවර ගත යුතුයි .
බන්ධනාගාර වල දැනට පවතිනඉඩ ප්‍රමාණය වැඩි කිරීමේ වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි. රැඳවියන්ට ප්‍රමාණවත් ඉඩක් බන්ධනාගාරවල නොමැති වූ විට ඔවුන් අපහසුතාවයට පත් වෙනවා . එම නිසා ඉඩකඩ ප්‍රමාණවත් නොවන බන්ධනාගාරවල සිටින රැඳවූවන් තාවකාලිකව පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමු කිරීමට අපේක්ෂා කරනවා .
අපරාධ චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින අයගෙන් ආරක්ෂක ලේකම්වරයාට එල්ලවනමරණීය තර්ජන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මිනිසුන්ට කළ හැකි දේ මෙන්ම නොහැකි දේ ද තිබෙන බවත් ඇතැම් පුද්ගලයන් කළ නොහැකි දේවල් කියද්දී තමන් ඒ සම්බන්ධයෙන් කලබල නොවන බවයි . මේ රටේ ජනතාවට නිදහස්ව ජීවත්වීමට අවශ්‍ය පරිසරය උදා කිරීමට කළ හැකි සියලු දෙය කරන බවත් එසේ කළ නොහැකි වුවහොත් මේ රටට අනාගතයක් නොමැති බවත් වගකිවයුතු රාජකාරියක් තමන් බාර ගත්තේ තර්ජන වලට බය නැති නිසා බවද ඒ මහතා අවධාරණය .