හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
2016 වසරේ පෙබරවාරි 28 වනදා වැලිකඩදී අපරික්ෂාකාරීව රිය පදවා සංදිප් සම්පත් නමැති තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක්කොට ඊට අදාළ කරුණු වසන් කොට අසත්‍ය සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
එහි විත්තිකරුවන් වන පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරා ලෙස සේවය කළ දිලුම් තුසිත කුමාර වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන අය අධිකරණය හමුවේ අද පෙනී සිටියා. අස්මඩල මහතාගේ නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට නියමිත පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නැති බවයි රජයේ නීතිඥවරයා සඳහන් කළේ. මෙම නඩුව දිගින් දිගටම විභාගයට නොගෙන කල්යාම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව විනිසුරුවරයා මෙහිදී පැවසිය.
නඩු භාණ්ඩයක් ලෙස නම් කර ඇති අනතුර සිදු කළ බව කියන ජීප් රථය කවුරුන් භාරයේ තිබේද. එය අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා බලා මීළග නඩු දින ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා පැමිණිල්ලට නියම කළේය.