පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිස් නිලධාරීන්ට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (05) අවසර දුන්නේය.
පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානයේ ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ අමරකෝන් බණ්ඩා යන පොලිස් නිලධාරියා කළ පැමිණිල්ලකට අනුව ආරම්භ කළ පරීක්ෂණයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
සිද්ධියට අදාළව සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු විදුලි සෝපානයේ ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ අමරකෝන් බණ්ඩා යන පොලිස් නිලධාරියාට සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීමල සාපරාධී බියගැන්විම යන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බවත් මේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ගත යුතු බවත් දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව පුජිත් ජයසුන්දර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරින්ගේ ප්‍රකාශ සටහන් කරගත් බව දැනුම් දුන් රහස් පොලිසිය මෙම සිද්ධිය පටිගත වී ඇති සී.සී.ටී.වී. දර්ශන ඇතුලත් සීඩී තැටි අධිකරණයේ තැන්පත් කොට ඇතැයි දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අදාළ සිසිටිවි දර්ශන ඇතුළත් සීඩී අවශ්‍ය වී ඇතැයිද ඒ හේතූව නිසා දැනට අධිකරණ බාරයේ ඇති මෙම සිද්ධිය පටිගත වී ඇති සී.සී.ටී.වී. දර්ශන ඇතුලත් සීඩී තැටි තමන් වෙත මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.
ඒ සඳහා අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය ලබන සැප්තැම්බර් 04 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළේය.