ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් යොමුකර ඇති බව 'අද'ට වාර්තා වේ.
එම පක්ෂයේ මහජන නියෝජිතයන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී පක්ෂයේ පොදු මතයට අනුගතව හා පක්ෂයේ ක්‍රියාපිළිවෙතට එරෙහි නොවන ආකාරයට එම ප්‍රකාශ නිකුත් කළ යුතු බව එම ලිපියේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.
එමෙන්ම රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණ කැබිනට් මණ්ඩලය මගින් ජනතාව දැනුවත් කරන බැවින්, එකී තීරණවලට පටහැනි ප්‍රකාශ නිකුත් කිරීම හා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම මගින් පක්ෂයට හා රජයේ ඉදිරි කටයුතුවලට හානිදායක තත්ත්වයක් උදාවිය හැකි බවද එහි සඳහන් වේ.
එබැවින් ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමෙන් හා එම තීරණවලට අනුකූල නොවන ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස මහලේකම්වරයා මන්ත්‍රීවරුන්ට දන්වා ඇති බව වාර්තා වේ.
පක්ෂයේ මතයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂයේ විනය කඩකිරීමක් බවට සැලකිය යුතු යැයිද ඒ මහතා එම ලිපියේ සදහන් කර ඇති බව වාර්තා විය.
20වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් දැක්වීම පිළිබඳව ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාගෙන් නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා විසින් ලිපියක් යොමුකර ඇති බව පසුගියදා වාර්තා විය.