නවෝත්පාදන සඳහා සෑමවිටම දිරිදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නව රජය කැපවී සිටින බවත් ඒ සඳහා දැනුම, හැකියාව ඇති තරුණ තරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය, විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලූම් ආයතනය විසින් සංවිධානය කළ කෙසෙල් කෙන්දෙන් නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි හා ඇඟලූම් එළිදැක්වීමේ සහ ළමා ඇඳුම් සඳහා සෞඛ්යාරක්ෂිතතා සහතිකයක් නිකුත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"කෙසෙල් තන්තුවෙන් නිපදවූ රෙදිපිළි හා ඇඟලූම් එළිදැක්වීමේ අවස්ථාව, මෙම අමාත්‍යාංශයේ වැඩ භාරගත් ගත් පසු මා සහභාගී වන වැදගත්ම අවස්ථාව ලෙස මා සලකනවා.
අපි මහත් උජාරුවෙන් කියනවා, විජය කුමාරයා ලංකාවට පැමිණෙන විට කුවේ‚ කපු කටිමින් හිටියා. අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයට ඊටත් එහා ඉතිහාසයක් තිබෙනවා කියා. එහෙම ඉතිහාසයක් තිබුණාට ඊට ගැළපෙන වර්තමානයක් අද අපට නැහැ.
ඊට හේතු වූයේ අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය කඩා වැටෙන ආකාරයට විවෘත ආර්ථීක සුළඟ හැමීම. ලෝකයේ ප්‍රබල රටවල් තමන්ගේ රටේ කර්මාන්ත බිඳ වැටෙන ආකාරයට වෙළෙඳපොළ විවෘත කිරීම සිදු කළේ නැහැ.
නමුත් අපි අපේ දොරටු විවෘත කළේ ආරක්ෂණ වැඩපිළිවෙළක් නොමැතිව, අපේ කර්මාන්ත හා නිෂ්පාදන බිඳ වැටෙන ආකාරයට. ඒ අවාසනාවන්ත ඉරණමට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය මුහුණ දුන් බව අපි දන්නවා.
එවැනි තත්ත්වයකට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය ඇද වැටී තිබියදී තමයි, කෙසෙල් තන්තු යොදා ගෙන මෙරටදී රෙදිපිළි නිෂ්පාදනය කිරීම ඇරඹෙන බවට සුබාරංචියක් ලැබෙන්නේ.
අද කාබනික පොහොර යොදාගෙන වගා කෙරෙන ආහාර වර්ගවලට ලෝකයේ විශාල ඉල්ලූමක් ඇති වෙමින් තිබෙනවා. එසේම කාබනික ද්‍රව්‍ය යොදාගෙන නිපදවන ඇඳුම් පැළඳුම් සඳහා ද ලෝක ප්‍රජාවගේ උනන්දුවක් ඇති වී තිබෙනවා.
කපු පුළුන් ආශ්‍රිතව නිපදවෙන රෙදිපිළි සඳහා ඉල්ලූම වැඩි වෙමින් තිබියදී තමයි අපට අපේ රටෙන් ඇසෙන්නේ කෙසෙල් තන්තුවෙන් ද රෙදිපිළි නිපදවිය හැකියි කියා. එවැනි නිපැයුමක උරුමය අප රටට හිමිවීම ඉමහත් සතුටට කාරණයක්. මෙම රෙදිපිළි නිෂ්පාදන, ලෝකය පුරා ඒ පිළිබඳ ඉල්ලූමක් ඇති රටවලට රැගෙන යාම අපේ ඉලක්කය විය යුතුයි. මේ නව නිපැයුම හඳුන්වා දීමට කැප වුණු ශ්‍රී ලංකා පේෂකර්මාන්ත හා ඇඟලූම් ආයතනයේ ප්‍රධානීන් හා මොරටුව විශ්වවිද්‍යාලයේ වියතුන්ටත් මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.