MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමෙන් පසු, එම නෞකාවේ නැවත ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාව තුල උෂ්ණත්වය හා ඔක්සිජන් සැපයුම අඩාල කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව නිවේදනය කරයි.
මේ වන විට ආපදාවට පත් නෞකාවේ වාණිජ හා තාක්ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් දිවයිනට යොමුකරන ලද මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 06 දෙනෙකු සහ ආපදා කළමණාකරණ විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට ගොස් ආපදා කළමණාකරන මෙහෙයුම් හා එක්ව සිටී.
ඒ අනුව මේ වන විට එම විශේෂඥ කණ්ඩායම් වල සහභාගීත්වයද ඇතිව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 30කට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ MT New Diamond නෞකාව රඳවා ගනිමින් මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවන් 09ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා, ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් මෙම මෙහෙයුමට එක් කරන ලද ටග් යාත්‍රා 05ක් මේ වන විටද ආපදා කළමණාකරන මෙහෙයුමේ සක්‍රීයව නිරතව සිටී.
ඒ අනුව, නෞකාවේ නැවත ගිනි ගැනීමක් හට ගැනීමට ඇති අවධානම පහව යන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු පාර්ශවකරුවන් විසින් නිරන්තර අවධානයෙන් මෙම ආපදා කළමණාකරන මෙහෙයුමේ නිරතව සිටී.