අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති බවත් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කරයි.
මේ අතර, නෞකාවට කිලෝ මීටරයක් පමණ දුරකින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කර ඇති බවත් පසුගිය දින කිහිපය පුරාවටම මෙම නෞකාවේ පසුපස කොටසේ ඇතිවී තිබූ ගින්න පාලනය කිරීම සඳහා ආපදා කණ්ඩායම් මගින් අඛණ්ඩව නෞකාවට යෙදූ මුහුදු ජලය නෞකාවේ පිටිපස කොටසේ සහ යන්ත්‍ර කාමර තුළ එකතුවීම හේතුවෙන් නෞකාව සාමාන්‍ය පිහිටුමෙන් වෙනස් වී පිටුපසට මඳක් බර වීම මෙලෙස නෞකාවේ ප්‍රයෝජනය සඳහා ගබඩා කර තිබූ ඩීසල් මුහුදු ජලයට මිශ්රවීමට හේතුවී ඇතැයි විශ්වාස කරන බවද නාවික හමුදාව පවසයි.
නමුත්, ආපදාවට පත් නෞකාවේ බොරතෙල් තෙල් සංචිතයන්ට ගින්න පැතිරයාමේ හෝ නෞකාවෙන් සාගරයට බොරතෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් මේවන තෙක් පැන නැගී නොමැති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථානගතකර තිබූ ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනීය වර්ගයේ ගුවන්යානය අදාල ඩීසල් ඉන්ධන පැල්ලම නිරීක්ෂණය කරන ලද ප්‍රදේශය වෙත අද සවස් භාගයේදී යොමුකර විශේෂීත රසායන ද්‍රව්‍යක් එම මුහුදු ප්‍රදේශයට ඉසීමට කටයුතු කළ බවත් එම ඉසින ලද විශේෂිත රසායන ද්‍රව්‍ය මගින් මුහුදු ජලයට මිශ්‍රවී ඇති ඩීසල් ඉන්ධන වල රසායන සංයුතිය වෙනස්කර එමගින් සාගරයට පරිසරයට වියහැකි බලපෑම අවම කෙරෙනු ඇති බවත් නාවික හමුදාව පවසයි.
MT New Diamond නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ආපදාවට පත් නෞකාව රඳවා ඇති මුහුදු ප්‍රදේශයේ ජල නියැදි පරීක්ෂා කිරීමට අද උදෑසන පරීක්ෂණ කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.
එම කණ්ඩායම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) හා රුහුණු විශ්ව විද්‍යාලයට අයත් පරීක්ෂණ නිලධාරීන්ගෙන් සමන්විත වූ අතර, ඔවුන් එම මුහුදු ප්‍රදේශය වෙත ගොස් අදාල නියැදීන් ලබාගැනීමෙන් පසු රසායනාගාර පරීක්ෂණ කටයුතු සඳහා එම නියැදීන් ගොඩබිමට රැගෙන ඒමට නියමිතය. එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් අද දින එම මුහුදු ප්‍රදේශය වෙත ලඟාවී වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීමටද නියමිතය.
ආපදාවට පත් වූ නෞකාවේ සිට මුදවාගෙන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවෙහි ආරක්ෂිතව වෙන්කර තබා සිටි පිලිපීන හා ග්‍රීක ජාතික නාවිකයින් 20 දෙනා අද දින හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි. එමෙන්ම එම නාවිකයින් හුදකලා කර තැබීමේ මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, පීසීආර් පරීක්ෂණ සඳහා අද දින ඔවුන්ගේ ජෛව සාම්පල ලබා ගැනීමද සිදු කෙරිණි.
ආපදාවට පත් නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 ක් පමණ වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ආපදා කළමණාකරන මෙහෙයුම මේ වන විට ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා සහ ටග් යාත්‍රා තවදුරටත් ආපදා කළමණාකරන මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටීන අතර, ගුවන් යානා මගින් නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
එසේම ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දේපාර්තමේන්තුවට අයත් නෞකාවන් හා ශ්‍රී ලංකා නාවික හමුදා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් සැපයුම් යාත්‍රා ලෙස මෙම මෙහෙයුමට යොදවා ඇති අතර, මෙම මෙහෙයුම සඳහා දිවයිනට පැමිණ සිටින විදේශීය මුදවා ගැනීමේ සහ ආපදා කළමණාකරණය කිරීමේ විශේෂඥ කණ්ඩායම්ද සහභාගීව සිටි.