දුරගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා අතිබහුතරයකගේ ආහාරපාන ජනතාවට අනුභව කිරීමට තරම් සුදුසු තත්ත්වයේ නොමැති බව සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
මීට අමතරව මෙම ස්ථානවල ආහාරපානවල මිල ගණන් සාමාන්‍ය ආපන ශාලාවක ආහාරපාන මිල ගණන්වලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවත්, මේ නිසා බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් එම සංගමයේ සභාපති සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.
දුරගමන් සේවා බස් රථ නැවැත්වීමට පහසුකම් තිබෙන්නේ ඒ වෙනුවෙන්ම ඉදිකළ ආපන ශාලා සහිත භූමිවල පමණක් බවත්, මේ නිස අකමැත්තෙන් වුවත්, මෙවැනි ස්ථානවල බස් රථ නැවැත්වීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව මගීන් වෙනුවෙන් වෙන්කර තිබෙන වැසිකිළි ඉතාමත් අපිරිසුදු බවත්, ආපන ශාලාව තුළ හෝ වැසිකිළි පද්ධතිය තුළ ආගමික නායකයන් වෙනුවෙන් කිසිදු ස්ථානයක් වෙන්කර නොමැති බවත් සභාපතිවරයා පැවසීය.
සමහර ආපන ශාලා හිමියන් විසින් දුරගමන් සේවා බස් රථ බලහත්කාරයෙන් නවත්වාගන්නා බවත්, මේවාට විරුද්ධව කතා කළහොත් බස් රථ රියදුරන්ට තර්ජනය කිරීම පවා සිදුකරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
ගාලුපාර, පස්යාල පාර, තණමල්විල, උඩවලව, මාන්කුලම, මහියංගණ මාර්ගවල වැඩි වශයෙන් දුරගමන් සේවා ආපන ශාලා ඇතැයිද සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය මහතා ප්‍රකාශ කළේය.
මේ නිසා දුරගමන් ආපන ශාලා පිරිසුදු කිරීමට හා භාණ්ඩවල මිල පාලනයත්, වැසිකිළි පිරිසුදු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.