වත්මන් රජයේ ආකල්ප ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවටත් දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට නොදීම එහි එක් සිද්ධියක් බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ යාපනයේදී මාධ්‍යවේදීන් විසින් නිදහස් දින ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම සම්බන්ධයෙන් අදහස් විමසූ අවස්ථාවේදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ,
‘‘2015 යහපාලන රජය පළමු වරට ජාතික ගීය නිදහස් දවසේ දෙමළ භාෂාවෙන් ගායනා කළා. මමයි සම්බන්ධන් මහතායි ඒකට ගියා. දශක කිහිපයකට පසුව තමයි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයත් නිදහස් දින සැමරුමකට එක් වුණේ. ඊට හේතුව තමයි සුහදශිලිත්වය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා හැමෝම යුද්ධය සමරනවා නමුත් ඒක දැඩි හානියක් වුණු දෙයක් කියලා.
දැන් සුහදතාවය වෙනස් වෙමින් පවතිනවා. ඒකේ එක් අවස්ථාවක් තමයි ජාතික ගීය දෙමළෙන් කියන්න නොදෙන එක. වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙලා ඒක සුහදත්වයට බලපෑමක්. දෙමළෙන් ජාතික ගීය කියන්න එපා කියනවනම් දෙමළ මිනිස්සු ජාතික ගීය කිව යුතු නැහැ කියන එකයි. ඒක අපි සන්තෝසෙන් අතහැරල දානවා.
එක රටක ඉන්න සියලු ජාතීන් අතර බැඳීම් සහජීවනය කඩාකප්පල් වන විදහට මේ රජය කටයුතු කරනවා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ප්‍රධාන ජනසමාජය දෙමළ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා අවුරුදු ගණනාවක් වෙනවා . ඒක වෙනස් වෙන්න ඕන නම් බලය බෙදීමක් වෙන්න ඕන. එතකොට තමයි අපිට ලංකාවේ සම තත්ත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා අපිට ආණ්ඩුවට කියන්න තියන්නේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.