මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත් කරගැනීම පිළිබඳව සාකච්ජා කොට ලබන මාර්තු මස 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (12) දැනුම් දුන්නේය.
මෙම නඩුව සඳහා සාක්කි දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හයවැනි වතාවටත් අධිකරණයට නොපැමිණි අතර මෙම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා දෙපාර්ශවය සාකච්ජා කොට ඇති බව කියමින් තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද කළ දැනුම්දීම් සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සාක්කීදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පස්වැනි වතාවටත් සිතාසි නිකුත් කොට තිබුණත් ඔවුන් දෙදෙනා අධිකරණයට පැමිණ සිටියේ නැත.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකාර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අධිකරණයේ පෙනී සිටියේය.