ණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් පස් දෙනා 17 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව තවත් සාමාජිකයින් 12 දෙනෙකු සඳහා පත්වීමි ලිපි ලබාදීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16දා) පස්වරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය.
එකී සාමාජිකයින් 17 දෙනා අතර, විශ්‍රාමික විනිසුරුවරුන් 07 දෙනෙකු ,නීතිඥයින් 02නෙකු ,විශ්‍රාමලත් උසස් රාජ්‍ය නිලධාරීන් 07 දෙනෙකු හා වෘත්තිකයින් වේ.
නව පත්වීමි ලැබු සාමාජිකයින් අමතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ ණය සහන දායක මණ්ඩලයේ කාර්ය භාරය පාර්ශ්ව කරුවන් අතර හැකිතාක් දුරට අර්බුදය සමනයට පත් කිරීම බවත්, ගිනි පොලී කරුවන් විසින් බොහෝ විට අහිංසක ජනතාවගේ ඉඩම් කඩම් සින්නක්කර ලෙස ලියා හිමිකර ගෙන ඇති ව්‍යසනයන් මැඩ පැවැත්වීම සදහා ණය සහන දායක මණ්ඩලය දායක වන බවයි.
නීති තර්ක ඉදිරිපත් කරන අධිකරණයක් නොව අසහනයට පත් ජනතාවට සහනය සළසා දීමේ මධ්‍යස්ථානයක් විය යුතු බවද එහෙයින් නොපමාව එකී නඩු කටයුතු අවසන් කිරීමේ ක්‍රියා මාර්ගයන් නොබියව ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී.