ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධියක්, තායිලන්තයේ දහවන රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍යය දා තිළිණ කිරීම සඳහා තායිලන්තයට වැඩම කරවීම සඳහා පූජා කිරීම, අද (17 දා) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී සිදු කෙරිණි.
තායිලන්තයේ දහවන රජුවන මා මහා වජිරා ලංකෝනි රජතුමාගේ මෞලි මංගල්‍යය පැවැත්වෙන දින, එම රජතුමා වෙත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභාශිංසනය සමග, ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුර බෝධීන් වහන්සේ පූජා කිරීම ලබන 19 වනදාට යෙදෙන නවම් පොහෝ දා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් තායිලන්තයේ බැංකොක් නුවර, අයෝධ්‍යා ප්‍රදේශයේ වජිර ධර්මාරාම විහාරයේදී රෝපණය කිරීමට නියමිතව තිබේ.
ථෙරවාදී බුදු දහම ලංකාවෙන් දායාද වූ තායිලන්තයේ, රාජ තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, මෙම බෝ අංකුරය පිළිගැන්වීම සිදු කෙරුණු අතර, මෙහි විශේෂත්වය වනුයේ අභිෂේක ලබන තායිලන්ත රජතුමා වෙත රාජතාන්ත්‍රික වශයෙන් ලැබෙන පළමු තිළිණය ලංකාවෙන් ලබාදෙන බෝධීන් වහන්සේ වීමය.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි, ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, තායිලන්ත ශ්‍රී ලංකා තානාපතිනී චූලමනී චර්ට්සුවාන් ඇතුළු පිරිසට, ජය ශ්‍රී මහ බෝ අංකුර වහන්සේ පූජා කෙරිණි.
අනුරාධපුර - බි.ජි චතුරංග