ජාතික සමඟිය ආගමික සහජීවනය වචනයට පමණක් සීමා නොවිය යුතු බවත් ක්‍රියාවෙන් සහජීවනය තියෙන විට රට සුරක්ෂිත බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැලිමඩ අළුගොල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සමග අද (12) පැවති ජන හමුවකදීය.
තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා ලෙසත් අවධාරණය කරන්නේ ජාතික සමඟිය සහ ආගමික සහජීවනය නොමැතිව ඉදිරියට යන්න බැහැ. මේ දෙකම රටක් සංවර්ධනයේ දී අත්‍යවශ්‍යයි. ලෝකයේ මැද පෙරදිග ඇතුළු බොහොමයක් රටවල ආගමික හා ජාතිවාදී ගැටුම් තිබෙනවා. අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් ජාති ආගම් අතර අවබෝධයකින් යුතුව කටයුතු කරනවා. එම තත්ත්වය ඉතා වැදගත් බව කිවයුතුයි.
රටක ආගමික සමඟිය නොමැති නම් සංවර්ධනය කොතරම් තිබුණත් වැඩක් නැහැ. පාස්කු ප්‍රහාරය හේතුවෙන් ජීවිත විශාල ගණනක් විනාශ වුණා. අපේ රටේ ගොවියාට ව්‍යාපාරිකයාට විශාල ලෙස බලපෑම් එල්ල කළා. ආර්ථිකයට විශාල බලපෑමක් වුණා. විශ්වාසය නැතිව ගියා. රටකට අන්තවාදය ඇතුළු වෙන්න දෙන්න හොඳ නැහැ. අපි දෙමළ ජනතාව සමග වසර 30ක් පුරා ගැටුම්වලට මැදි වුණා. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන තිරසාර සංවර්ධනයකට යොමු විය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමග ශක්තිමත් නායකයෙක් ලැබිලා තියෙනවා. ඒ තුළ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගත යුතුයි. ඒකේ ප්රතිලාභ සියලු ජනතාව ලබනවා. සියලු දෙනා අතර ප්රතිලාභ බෙදි යනවා. මේ රට ඉදිරියට යාමට සියලු ජාතින් අත්වැල් බැද ගත යුතුයි වගේම ඒ සාමකාමී බව ලොවට පෙන්විය යුතුයි. අපේ රට සාමකාමී රටක් ලෙස ලෝකය අවබෝධ කරගත් පසු ආයෝජකයින් සංචාරකයින් මේ රටට එනවා. අපේ රටේ ජාතික ආගමික ගැටුම් නැහැ කියන එක ලෝකයට පෙන් විය යුතුයි. ජාතික සමඟිය ආගමික සහජීවනය වචනයට පමණක් සීමා විය යුතු නැහැ. ක්‍රියාවෙන් සහජීවනය තියෙන විට රට සුරක්ෂිතයි. අන්තවාදය විවිධ ආකාරයට ඇති වෙන්න පුළුවන්. ඒ සියලු ආකාරයේ අන්තවාදයට අපි විරුද්ධ විය යුතුයි.
ජනාධිපතිවරණ කාලයේදි විවිධ දේශපාලනඥයින් මාධ්‍ය මුස්ලිම් ජනතාවගේ සිත් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව වැරදි චිත්‍රයක් මවලා අනවබෝධයක් ඇති කළා. ඒත් දැන් මුස්ලිම් ජනතාව එතුමා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා. අපි ජාතින් අතර අවබෝධයෙන් කටයුතු කරනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. එස්.ඩබ්ලිව් .ආර්.ඩී.බණ්ඩාරනායක මහතාට මරික්කාර් බදියුදීන් මොහොමඩ් වැනි මුස්ලිම් නායකයින් ශක්තියක් වුණා. ඒ අය එදා අන්තවාදීන් වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම මුස්ලිම් ජනතාවත් සමග එක්ව කටයුතු කර තිබෙනවා. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග එක්ව කටයුතු කරන ලෙස අත්වැල් බැඳ ගන්නා ලෙස මා මුස්ලිම් ජනතාවට ආරාධනා කරනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.