ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 100 වැනි ඡන්ම දිනය යෙදෙන හෙට (05දා) දිනය ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සෑම වසරකම අප්‍රේල් මස 05 වැනිදා ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව පළමුවැනි ජාතික සිනමා දිනය ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී හෙට (05) උදෑසන අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාව වෙනුවෙන් සිදුකළ අමිල සේවාව අගයමින් එයට කෘතගුණ සැලකීමක් ලෙස කොළඹ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී රුපියල් ලක්ෂ 150ක් වැය කරමින් එතුමන්ගේ නමින් කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් හෙට (05දා) දින ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා පැවසීය.
වත්මන් උදා ගම්මාන වැඩසටහන යටතේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නමින් උදා ගම්මානයක් මේ වනවිටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින බවත්, දිවයිනේ අනෙක් දිස්ත්‍රික්ක 24 තුළද එතුමන්ගේ නමින් තවත් උදා ගම්මාන 24ක් ඉදිකිරීම ආරම්භ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.