ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග අද (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිතයේ සහ සමාජයේ අභිවෘද්ධියට ඉවහල්වන තීරණ රැසක් ගනු ලැබීය.
දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීම ඉන් එකකි. දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇත. ප්‍රමාණවත් පහසුකම් කිසිවක් ඒවායේ නැත. එවැනි පාසල්ද කඩිනමින් සංවර්ධනය කරනු ලැබේ.
පාසල් පද්ධතියේ දියුණුව පිණිස දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට ජනාධිපතිතුමා ප්රමුඛ රාජ්‍ය අමාත්‍යවරු තීරණය කළහ.
අධ්‍යාපන කලාප කාර්යාල සහ කොට්ඨාස කාර්යාල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද එකඟත්වය පළ විය. ගුරු මාරු සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යයකටම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතී. එය පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවේයැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
දිවයිනේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම පිළිබඳව අද රැස්වීමේ දී සොයා බැලිණ. ගුරු ව්‍යවස්ථාව අනුව වසරක් පතා ගුරු විභාග පැවැත්විය යුතුය. විදුහල්පති පුරප්පාඩුවට ප්‍රධාන හේතුව එය විධිමත්ව සිදු නොවීමයි. පාසල්වල සිටින දක්ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩ කඩ විමසා බැලීමට ද තීරණය විය.