මහජන චීන සමූහාණ්ඩුව සඳහා නම් කළ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත ටී. බී. කොහොන මහතා පෙරේදා (30දා) දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාර ගත්තේය.
ආචාර්ය කොහොන මහතා රාජකාරි භාර ගැනීමට පෙර, චීනයේ බෞද්ධ සංගමයේ උප සභාපති අති පූජ්‍ය සොං ෂිං ස්වාමීන් වහන්සේ සහ බීජිං හි ගුවැන්ජි පන්සලේ තවත් ගෞරවනීය භික්ෂූන් වහන්සේලා සිව් නමක් විසින් පිරිත් සජ්ඣායනා කරන ලදී. නිල වශයෙන් ජාතික ධජය එසවීම සහ සාම්ප්‍රදායික තෙල් පහන දැල්වීම ඉන් අනතුරුව සිදු කෙරිණි.
දේශීය වශයෙන් සේවයේ නියුතු කාර්යය මණ්ඩලය ද ඇතුළුව තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය අමතමින්, දේශීය බලධාරීන් මෙන්ම චීන ප්‍රජාව ද සමඟ සියලු දෙනා ක්‍රියාශීලීව සම්බන්ධ වීමේ අවශ්‍යතාවය පිළිබඳව ආචාර්ය කොහොන මහතා අවධාරණය කළේය.
ව්‍යාපාරික ප්‍රජාව සමඟ ද සබඳතා වර්ධනය කර ගැනීම වැදගත් බව පැවසූ ඔහු චීනය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තවදුරටත් ඉහළ නැංවීම, ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීම, විදේශීය සෘජු ආයෝජන සඳහා පිළිගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සහ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා දිරිමත් කිරීම පරමාර්ථය විය යුතු බව පවසා සිටියේය.
එසේම, අද ලෝකයේ පවතින වඩාත්ම වාසිදායක වෙළඳපොල චීනය බව අමතක නොකළ යුතු බැව් පැවසූ ආචාර්ය කොහොන මහතා, තවත් චීන සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට දිරි ගැන්වීම සඳහා උත්සාහ දැරිය යුතු බවත් නැගී එන ආර්ථිකය, විද්‍යාව හා තාක්ෂණය සහ කෘෂිකර්මාන්තය යන අංශවල විශ්මයජනක දියුණුව හේතුවෙන් චීනය ශ්‍රී ලංකාව සඳහා විශාල අවස්ථාවක් සලසා දෙන බවත් සඳහන් කළේය.
ආචාර්ය පාලිත කොහොන මහතා 2009 සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා විය. 2009 අගෝස්තු දක්වා ඔහු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා වූ අතර, සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමේ ලේකම් කාර්යාලයේ හිටපු මහ ලේකම් ධුරය ද දැරීය.
ඊට පෙර 2006 දක්වා ඔහු එක්සත් ජාතීන්ගේ නීති කටයුතු කාර්යාලයේ විශාලතම හස්තය වන නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ගිවිසුම් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
තානාපති ආචාර්ය කොහොන මහතා සිය ද්විතීයික අධ්‍යාපනය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. ඔහු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් එල්එල්බී (ගෞරව) උපාධිය ද, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එල්එල්එම් පශ්චාත් උපාධිය සහ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද දිනා ගත්තේය.
ආචාර්ය කොහොන මහතා 2020 දෙසැම්බර් 15 වැනි දින චීනයට පැමිණ අන්තර්ජාලය ඔස්සේ සිය රාජකාරී භාරගත් අතර, දින 14 ක කාලයක් නිරෝධයනයට ලක් විය.



