ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද (9/20) උදෑසන දිවයිනට පැමිණියේය.
මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මෙම වසරේ අගෝස්තු මස 9 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති අතර, එදින සිටම නිසි පරිදි සේවා ස්ථානයේ නොරැඳී විෂමාචාරවල යෙදෙමින් අවට සැරිසරමින් සිට තිබේ.
මොහු පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අගෝස්තු මස 30 දින පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී මොහු ජෙරුසලම ප්‍රදේශයේ රැදී සිටියදී හමුවී ඇත. ඒ වන විට ඔහුගේ පැවති දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මස 5 වන දින ජෙරුසලම රෝහලට ඇතුළත් කළද එදින රාත්‍රියේ ඔහු එම රෝහලින්ද පැන ගොස් තිබේ.
ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ නිළධාරීන් විසින් අදාළ තරුණයා මෙම කෙටි කාල සිමාව තුළදී කිහිපවරක් සිය භාරයේ රඳවා ගැනීමට උත්සහ කලද එය ව්‍යර්ථ වී ඇත. කෙසේ හෝ සැප්තැම්බර් 16 වන දින මොහු පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ රඳවා තබාගෙන ඇත.
ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශයේ නිළධාරිනියකද අදාළ තරුණයා සමග මෙරටට පැමිණීමට පියවර ගන්නා ලදී.
