ගලේවෙල නගරයේ පිහිටි දුරකතන අලෙවි සැළකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු එහි තිබූ වටිනා ජංගම දුරකථන සහ තවත් භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මෙම ජංගම දුරකථන සහ භාණ්ඩ සොරා ගන්නා ආකාරය ඉතා පැහැදිලිව වෙළඳසැල තුළ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇතැයිද ගලේවෙල පොලීසිය සඳහන් කර සිටියේය.
වෙළඳසැළේ පිටුපස දොර කඩා ඇතුළු වන පුද්ගලයන් දෙදෙනා වෙළඳසැල පුරා ඇවිදිමින් වටිනා ජංගම දුරකථන සොයන ආකාරයත් ඒවා සොරා ගන්නා ආකාරයත් පැහැදිලිව දර්ශනය වන අතර ඔවුන් මෙතෙක් හඳුනා ගැනීමට හැකි වී නැතැයි ගලේවෙල පොලීසියේ ප්රකාශකයෙකු සඳහන් කළේය.
මෙම වෙළඳසැල තුලට ඇතුළුවන එක් පුද්ගලයෙකු උඩුකය නිරුවතින් පැමිණෙන අතර පාවහන් යුගලය ඔහුගේ කලිසමි ඉනේ සඟවාගෙන සිටින ආකාරයත් එමෙන්ම එක් අතක විශාල පච්චයක් කොටා තිබෙන ආකාරය ද දර්ශන පරීක්ෂාකිරීමේදී දැක ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මෙ දිනවල ගලේවෙල දඹුල්ල ආදී ප්රදේශවල මෙයාකාරයෙන් ගෙවල් සහ වෙළඳසැල් බිද භාණ්ඩ මුදල් සොරා ගැනීමේ ක්රියාවලිය සිදුවෙන බවප්රදේශවල පොලිස් ස්ථානාධිපතිවරු සඳහන් කර සිටිති.
එස්. කරුණාරත්න