ගාල්ල කොටුව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කිරීම නාවුක හමුදාවේ සහායෙන් ආරම්භ කළ බව ගාලු උරුමය පදනම පවසයි.
වසර සියගණනක් පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ වහල සහ බිත්ති වරින් වර කඩාවැටුණු අතර තවදුරටත් එහි කොටස් කඩා වැටීමේ අවදානමක් ද පැවතිණි. එහිදි මහජනතාවට අනතුරු සිදුවීම වැලැක්වීම සඳහා ආසන්නයේ පිහිටි මාර්ගයේ කොටසක් පොලීසිය විසින් වසා දමනු ලැබීය.
තැපැල් කාර්යාලය සම්බන්ධව වගකීම දරන ආයතන වන තැපැල් දෙපාර්තමේන්තුව, ගාලු උරුමය පදනම හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කිරිමට ගාල්ල පොලීසියට සිදුවිය.
එහිදී ජනවාරි හය වන දින හෝ ඊට පෙර තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කරන ලෙස අදාළ ආයතන වලට අධිකරණය විසින් නියෝග කෙරිණ.
ඒ අනුව එම කටයුතු ඊයේ (02) ආරම්භ කෙරුණු අතර ගාලු උරුමය පදනම පවසන්නේ අනතුරුදායක කොටස් ඉවත් කිරීමෙන් පසු සංරක්ෂණ කටයුතු ආරම්භ කරන බවයි.
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට