ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේද කොරෝනා රෝග ආසාදිතයින් ඇතුලත් කළ හැකි ධාරිතාවය ඉක්මවා යමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අද (5) සවස වනවිට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර පිනිස වෙන්කොට ඇති සාමාන්‍ය වාට්ටු තුනද , අතරමැදි දැඩි සත්කාර ඒකකය සහ කොවිඩ් දැඩි සත්කාර ඒකකයද පිරී ඇති බවත් කොවිඩ් ගැබිණි ආසාදිතයින් සදහා වෙන්කොට ඇති වාට්ටුවෙහි ඇදන් 16 න් 14 ක් පිරී පවතින බවත් කළ සොයා බැලීමේදී අනාවරණය විය.
රෝහලෙහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ, රෝහල වෙත දිනකට පැමිණෙන සැක සහිත පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමේදී සිය දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් බවට පත් වන තත්ත්වයක් පවතින බැවින් ජනතාව දැඩිව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවය.
දැනට ආසාදිතයින් බවට හදුනාගැනෙන එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන තැනැත්තන් ස්වයං නිරෝධායනය පිනිස නිවෙස් කරා යැවීමටත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් පමණක් රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලබන බවත් අධ්යක්ෂවරයා සදහන් කළේය.
මේ වනවිට රෝහලෙහි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය ඉක්මවා යන තත්ත්වයක් පවතින බැවින් දිස්ත්‍රික්කයේ අවට රෝහල් වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවත් අධ්යක්ෂවරයා පැවසීය.
ප්‍රතිකාර ලබන කොවිඩ් ගැබිණි ආසාදිතයින් අතුරින් කිහිප දෙනෙකු දරු ප්‍රසූතියෙන් පසුව බිළිඳුන් සමග ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙදියන් දෙදෙනෙකු , සුළු සේවා පාලක තිදෙනෙකු ඇතුලු 11 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් එන්නත ලබා නොගෙන ඇති කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බවද දැනගන්නට ලැබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක